හමුදාව අවුල් කිරීමේ කුමන්ත්‍රණයක්!

ආරක්ෂක අමාත්‍යංශය භාරව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දියාවේ නිල සංචාරයක නිරතවී සිටියදී යුද හමුදාපති විශ්‍රාම ගන්වන බව සහ ඒ වෙනුවට නව යුද හමුදාපති වශයෙන් මේජර් ජනරාල් ජගත් රඹුක්පොත පත් කරන බවට පළ වූ ප්‍රවෘත්තිය ඉතා බරපතල  තත්වයක් බව යුද හමුදා ආරංචි මාර්ග පෙන්වා දෙයි.

වත්මන් යුද හමුදාපතිවරයාට  සේවා දිගුවක් ලබා නොදී විශ්‍රාම ගැන්වීම  හෝ නව යුද හමුදාපතිවරයෙකු පත් කිරීම පිළිබඳව ජනාධිපතිවරයා කිසිදු නිල සඳහනක් කර නොතිබියදී මෙම ප්‍රවෘත්ති  මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය කිහිපයක පළ කර තිබිණ. හිටපු හමුදාපතිවරයකු වූ ජෙනරාල් සරත් ෆොන්සේකාගේ පෞද්ගලික මතයක් දක්වමින් මාධ්‍ය හමුවේ මෙයට පෙර අවස්ථාවකදී ප්‍රකාශ කර තිබුණේ වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක අනිවර්යයෙන්ම  විශ්‍රාම ගැන්විය යුතු බවය.

එහෙත් ජනාධිපතිවරයා ඒ පිළිබඳව කිසිඳු ප්‍රතිචාරයක් නොදක්වා තිබිණ. මේ අතර පෙබරවාරි 18 වන දින ආරක්ෂක අමාත්‍යංශ මාධ්‍ය කේන්ද්‍රයේ වැඩ බලන අධ්‍යක්ෂක, බ්‍රෙගේඩියර් කේ.ජේ. ජයවීරගේ අත්සනින් මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර තිබිණි. එයින් අවධාරණය කර තිබුණේ නව යුද හමුදාපතිවරයකු පත් කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය කිසිදු තීරණයක් ගෙන නොමැති බවය.

මෙම මතභේදාත්මක ප්‍රවෘත්තිය කාගේ හෝ අවශ්‍යතාවයකට නිර්මාණය කරන ලද්දක් දැයිද එය වගකීම් රහිතව මාධ්‍ය මගින් පළ කර ඇතැයිද යුද හමුදා ආරංචි මාර්ග හෙළි කරයි.

Facebook
Twitter
LinkedIn