භූමිතෙල් මිල හෙට අනිද්දා වනවිට අනිවාර්යෙන්ම ඉහළ දැමීමට සිදු වන බව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර පවසයි.
භූමිතෙල් ලීටරය රුපියල් 87ට අලෙවි කිරීම සිදු කළද, ලීටරයක් සඳහා ආණ්ඩුවට රුපියල් 420ක් වියදම් වන බව ඇමතිවරයා ඊයේ (05) පාර්ලිමේන්තුවේදී පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ ඇමති කංචන විජේසේකර,
“දැන් හෙට අනිද්දා වනවිට අපිට භූමිතෙල් මිල අනිවාර්යෙන්ම වැඩි කළ යුතු වෙනවා. භූමිතෙල් අපි දෙන්නේ රුපියල් 87ට. ඒත් රුපියල් 420ක් අපිට වියදම් වෙනවා. එහෙම කළාම වෘත්තීය සමිති නායකයන් පාරට බැහැලා කියයි අන්න ධීවරයන්ට පහර පිට පහර ගහනවා කියලා. අනිත් පැත්තෙන් කියනවා මිනිස්සුන්ට ඉන්ධන ටික දෙන්න කියලා. ඉන්ධන නිසියාකාරව දීගෙන යන්න නම් අපි ආනයනය කරන එක අපි අඩු තරමේ අලාභයක් නැතිව අලෙවි කරලා ඒ මුදල තමයි අපි ආයෝජනය කරන්න ඕනා නැවත ආනයනය කරන්න. වෙනදට අපිට දින 180 පමණ ණය කාලයක් තිබුණා. මම බලාපොරොත්තු වෙනවා 08 සහ 09 එන නැව්වලට මුදල් ටික එකතු කරන්න උත්සහ කරනවා. ඩොලර් එකතු කිරීම වගේම රුපියල් එකතු කිරීමත් අභියෝගයක්” යනුවෙන් සඳහන් කළේය.










