ආණ්ඩුවෙන් කාබනික පොහොර නිෂ්පාදකයන්ට බිලියන 14ක පොල්ලක්

ආණ්ඩුවෙන් කාබනික පොහොර නිෂ්පාදකයන්ට බිලියන 14ක පොල්ලක්

පසුගිය යල කන්නයේ පොහොර නිෂ්පාදනය කිරීම වෙනුවෙන් රජය ගෙවිය යුතු රුපියල් බිලියන 14ක පමණ මුදලක් මේ වනතුරුත් නොගෙවීම හේතුවෙන් තමන් දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව සිටින බව කාබනික පොහොර නිෂ්පාදකයෝ පවසති.

ඝන පොහොර, දියර පොහොර, ක්ෂුද්‍ර ජීවී සහිත පොහොර ආදී රුපියල් බිලියන විසිදෙකක පමණ ටෙන්ඩර වටිනාකමින් යුතු පරිසර හිතකාමී පොහොර වර්ග හතරක් පසුගිය යල කන්නයේ බෙදා හැරීම සඳහා රජයට දුන් නමුත් මේ වනතුරුත් ඒ සඳහා ලැබිය යුතු සම්පුර්ණ මූල්‍ය වටිනාකම නොලැබුණු බව පරිසර හිතකාමී පොහොර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ශම්මි කිරින්දේ හා එහි ලේකම් ශාමින්ද හෙට්ටි කංකානම්ගේ පවසති.

අදාළ කාබනික පොහොර භාර දී අවසන් බවට දැක්වෙන සහතිකය, ප්‍රමිති සහතිකය ඇතුළු සම්පූර්ණ කළ ලේඛන කට්ටලය රජයට දුන් පසු දින 28ක් ඇතුළත සියලු ගෙවීම්වලින් නිදහස් කරන බව පැවසුවද තවත් කන්නයක් ආරම්භ වුවත් තවමත් ගෙවීම් කටයුතු කර නැතැයි ඔවුහු චෝදනා කළහ.

ටෙන්ඩරයේ මුළු වටිනාකම රුපියල් බිලියන විසිදෙකක් පමණ වුවත් රුපියල් බිලියන 16ක වටිනා පොහොර තොගයක් ලබා දුන්නද තවමත් පොහොර නිෂ්පාදකයන්ට ගෙවා ඇත්තේ රුපියල් බිලියන 2.4ක් බව ඔවුහු සඳහන් කරති.

මහ කන්නය සඳහාද කාබනික හෝ රසායනික පොහොර ලබා දීමේදී මේ වනවිට යම් ප්‍රශ්නකාරී බවක් මතුවෙමින් පවතින බවත් රටේ පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය රට තුළම සිදුකර ගැනීමේ වාතාවරණයක් උදාවී ඇති බවත් ඔවුහු පවසති.

නියමිත ටෙන්ඩර් පටිපාටියට අනුකුලව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ මත ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධීක්ෂණයෙන් මෙරට කාබනික ඝන පොහොර අවශ්‍යතාවයෙන් 60%ක් සහ දියර පොහොර අවශ්‍යතාවයෙන් 90%ක් සපුරාලීමට කටයුතු කළ බවද ඔවුහු සඳහන් කරති.

පොහොර බහාලුම් මිල, ප්‍රවාහන වියදම්, අමුද්‍රව්‍ය මිල දරාගත නොහැකි අයුරින් ඉතා ඉහළ අගයක් ගෙන ඇතැයි පැවැසූ ඔවුහු ලැබිය යුතු මුළු මුදලින් 40%කවත් අත්තිකාරම් මුදලක් දෙන ලෙස ඉල්ලීමක් කළද එයටද යහපත් ප්‍රතිචාර හිමි නොවූ බවද කියති.

රජයේ ටෙන්ඩර් පටිපාටියට අනුව ලක් පොහොර සහ කොමර්ෂල් පොහොර සමාගම සමඟ එළැඹුණු ගිවිසුම් ප්‍රකාරව පොහොර තොග නිසි අයුරින් භාරදුන් පසු දින 28ක් ඇතුළත සියලු ගෙවීම් කටයුතු කර නිදහස් කළ යුතු වුවත් එවැන්නක් සිදුවී නැතැයි පරිසර හිතකාමී පොහොර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් ශාමින්ද හෙට්ටි කංකානම්ගේ සඳහන් කරයි.

මින් පෙර පසුගිය වසරේ මහ කන්නය සඳහා නිෂ්පාදනය කළ කාබනික පොහොර තොග වෙනුවෙන් ගෙවිය යුතු මුදල් නිසි අයුරින් දුන් නමුත් මෙවර යල කන්නය වෙනුවෙන් දුන් පොහොර තොගවලට මුදල් නොදීමෙන් තවදුරට ත් පොහොර නිෂ්පාදනය කරගත නොහැකි අයුරින් කාබනික පොහොර නිෂ්පාදකයෝ අර්බුදයකට පත්ව ඇතැයි පරිසර හිතකාමී පොහොර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ශම්මි කිරින්දේ පවසයි.

ප්ලාස්ටික් බහාලුම් සපයන ආයතනවලට, ප්ලාස්ටික් බෑග් නිෂ්පාදකයන්ට, අමුද්‍රව්‍ය සපයන්නන්ට මිලියන බිලියන ගණනින් මුදල් ගෙවිය යුතු බවත් මේ ආශ්‍රිතව ගොඩනැගුණු රැකියා ලක්ෂ පහක් පමණ මේ අයුරින් ගෙවීම් ප්‍රමාද වීමෙන් අනතුරේ වැටී ඇති බවත් හෙතෙම කියයි.

සමහර නිෂ්පාදකයන් මිලියන 600ක, 700ක පමණ පිරිවැයක් දරා පොහොර නිෂ්පාදනය කර ඇති බවත් මේ පීඩනය තවදුරටත් ඔවුන්ට දරාගත නොහැකි බවත් ඔහු සඳහන් කරති.

මේ සම්බන්ධයෙන් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් චන්දන ලොකු හේවගේ පවසන්නේ කාබනික පොහොර නිෂ්පාදකයන්ට යම් මුදලක් ගෙවීමට ඉතිරිව පවතින බවය.

මේ වනවිට කාබනික පොහොර නිෂ්පාදකයන් රුපියල් බිලියන ‍12ක පමණ පොහොර තොගයක් බෙදා හැර තිබෙන බවත් ඒ සඳහා ගෙවිය යුතු මුදලින් රුපියල් බිලියන 03කට ආසන්න මුදලක් ගෙවා ඇති බවත් හෙතෙම සඳහන් කරයි. ප්‍රමිතිකරණය සම්බන්ධයෙන් වගකීමක් පැවරෙනවා විනා ගෙවීම් සම්බන්ධයෙන් ජාතික පොහොර ලේකම් කාර්යාලයේ සම්බන්ධයක් නොමැති බවත් රජයේ පොහොර සමාගම් දෙක හරහා එම කටයුතු සිදුවන බවත් ඔහු සඳහන් කරයි.

කාබනික පොහොර නිෂ්පාදකයන් සඳහා ගෙවිය යුතු සම්පුර්ණ මුදල ගෙවා නොමැති බව පිළිගන්නේ යැයි කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන පවසයි. ඔවුන් දුන් පොහොර තොගවලට ගෙවිය යුතු මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලැබෙන අයුරින් හැකි තරමින් ගෙවා දමන බවත් තවත් මාස දෙකක් පමණ යනවිට ඔවුන්ට ගෙවිය යුතු සම්පුර්ණ මුදල ගෙවා අවසන් කළ හැකි වනු ඇති බවත් හෙතෙම සඳහන් කරයි.

මේ වනවිට මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලැබෙන අයුරින් මිලියන 100 බැගින් පමණ එම නිෂ්පාදකයන්ට ගෙවා ඇතැයිද ඔහු පවසයි. කොළඹ කොමර්ෂල් පොහොර සමාගම මගින් පමණක් පොහොර නිෂ්පාදකයන්ට රුපියල් බිලියන දෙකක පමණ මුදලක් ගෙවීමට තිබෙන බවත් හෙතෙම පැවසීය.

ලක් පොහොර සමාගමෙන්ද යම් මුදලක් ගෙවීමට තිබෙන බවද ඔවුන්ද ආයතනයට මුදල් ලැබෙන අයුරින් එම නිෂ්පාදකයන්ට ගෙවිය යුතු මුදල් ගෙවා දමන බවද ඔහු පවසයි. මේ අවස්ථාවේදී ගෙවීම් කිරීමට යම් අසීරුතා පැවැතුණද මුදල් ලැබෙන අයුරින් ඒවා ගෙවා දැමීමට කටයුතු කරන්නේ යැයි ඔහු අවධාරණය කරයි.

මව්බිම

Facebook
Twitter
LinkedIn