“සෞභාග්‍ය කරා යන ගමනේ අහන්න ලැබුණු සංවේදී කතාවක්.
මගේ හිතවත් මිතුරකුගේ දියණියට දරුවෙක් ලැබෙන්න හිටියා. මම අද ඔහුගේ නිවසට ගියේ පාපැදියෙන්. නිවසේ ස්වභාවය අමුතුයි.
“මොකද වුණේ?” මම ඇහුවා.
“කුසුම්, අපෙ දුවගෙ බබා නැති වුණා හදිසියෙම”
එහෙනම් ඒකයි නිවසේ වෙනසට හේතුව. ඔහු කතාව විස්තර කළේ මෙහෙමයි.
“මම වැඩකට ගිහින් අනුරාධපුරේ හිටියේ. දුවගේ ප්‍රෙෂර් එක වැඩිවෙලා උදේ වෙනකොට. ඩොක්ටර්ට කතා කළාම කියලා තිබෙන්නෙ වහාම දුව හොස්පිටල් එකට ගේන්න කියලා. කොළඹ ගෙනියන්න වාහනයක් හොයා ගන්න පුතා උදේ වරුවම ට්‍රයි කරලා. ත්‍රිවිලර් එකක්වත් තිබුණෙ නෑ. පස්සේ හවස් වෙනකොට යාලුවෙක්ගෙ වාහනයක් හොයාගන රෝහලට ගෙනිහින්. පමා වැඩියි. බබා කුසේදිම නැතිවෙලා කියලා ඩොක්ටර් කියලා.
මම එදා රෑම බස් එකේ නැගලා පාන්දර වෙනකොට කොළඹ රෝහලට ආවා. එතකොට බබාගේ මිනිය මල් ශාලාවක පුංචි පෙට්ටියක දාලා තිබුණා. දරුවා බලන්න ලස්සනයි. ඒ ගමන මල් ශාලාවෙන් කිව්වේ හර්ස්වලට ඩීසල් හෝ පැට්රල් නැති බවයි. හොඳ වෙලාවට පුතාගෙ බයික් එකේ තෙල් තිබුණා. මොනව කරන්නද මම පුතාගේ මෝටර් බයිසිකලයේ දෑතින් පුංචි බබාගේ මිනී පෙට්ටිය අරන් බොරැල්ල කනත්තට ගිහින් අවසන් කටයුතු කළා. (ගම්පහ දිසාවේ සිද්ධියක්. අනෙක් පළාත් ගැන කවර කතාද…)”










