කුඩා ඇඟළුම්හල් 200ක් අනතුරේ

කුඩා ඇඟළුම්හල් 200ක් අනතුරේ

සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල් 200ක් පමණ ඉන්ධන හිඟය සහ විදුලිය කප්පාදුව ඇතුළු අර්බුද හේතුකොටගෙන කඩා වැටීමේ බරපතළ අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ.

මහා පරිමාණ ඇඟලුම් කම්හල් බොහොමයක් ඩොලර් ගෙවා සිපෙට්කෝ සහ CIC ඉන්ධන පිරවුම් හල්වලින් ඩීසල් ලබා ගත්තද සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල්වලට සාමාන්‍ය ඉන්ධන පිරවුම් හල්වලින් ඉන්ධන ලබා ගැනීමේදී බරපතළ දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුව ඇතැයි එම හිමිකරුවෝ පවසති.

බොහෝ අවස්ථාවලදී ඔවුනට ප්‍රමාණවත් පරිදි ඩීසල් නොලැබෙන තත්වයක් පවතින බවද ඔවූහු සඳහන් කරති.

ප්‍රධාන පෙළේ මහා පරිමාණ ඇඟළුම් කම්හල් සිය ඇඟලුම් නිෂ්පාදන ඇණවුම්වලින් යම් කොටසක් නිෂ්පාදනය සඳහා උපකොන්ත්‍රාත්කරුවන් වශයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල්වලට බාර දෙන හෙයින් එම ඇඟලුම් කම්හල් අකර්මණ්‍යවීම මහා පරිමාණ කර්මාන්තවලටද දැඩි බලපෑමක් එල්ල කර ඇතැයිද සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල් හිමියෝ පවසති.

මේ අතර ඇඟලුම් කම්හල්වල නිලධාරීන්ට සහ සේවකයන්ට සිය පෞද්ගලික වාහනවලින් පැමිණීමේ අවස්ථාව පෙට්‍රල් හිඟය නිසා බොහෝ දුරට අහිමිවීමෙන් ඇඟලුම් කම්හල්වල කාර්ය සාධනයට එය විශාල බලපෑමක්වී ඇතැයි එම කම්හල් හිමිකරුවෝ පවසති.

මේ තත්වය සැලකිල්ලට ගෙන සිය සේවකයන් ප්‍රවාහනය සඳහා පෙට්‍රල් කෝටාවක් ලබාදෙන්නැයි සිපෙට්කෝ ආයතනයෙන් විශේෂ ඉල්ලීමක් දැනටමත් කර ඇති බවද ඔවුහු පෙන්වා දෙති.

එසේම විදුලිය කප්පාදුව නිසා විදුලි උත්පාදක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට සිදුවීමෙන් මහා පරිමාණ මධ්‍ය පරිමාණ සුළු පරිමාණ ඇඟලුම් කම්හල්වලට ඒ සඳහා අමතර පිරිවැයක් දැරීමට සිදුවී ඇති හෙයින් ඒ තත්වය එම ආයතනවල ආදායමට අහිතකර ලෙස බලපා ඇති බව දැනගන්නට ඇත.

මේ අතර ඇඟලුම් නිෂ්පාදන ආයතනවලට විදේශයන්ගෙන් ලැබෙන ඇණවුම් රටේ පවතින අර්බුදය හේතුවෙන් වෙනත් රටවලට හැරී යෑමේ අවදානමක්ද මතුව ඇතැයි පෙන්වා දෙන සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල් හිමියෝ ඒ තත්වය මඟ හරවා ගැනීම සඳහා ඇණවුම් කරුවන් සමග සාකච්ඡා පවත්වමින් විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇතැයිද පවසති.

Facebook
Twitter
LinkedIn