මේ ජනාධිපති යටතේ අටවන ඕනෑම ආණ්ඩුවක් මහජන මතයට විරුද්ධයි… මාසයක්වත් පවතින්න බැහැ… මේ වෙලාවේ තීරණ ගත යුත්තේ පවුලක් නොව රටක් රකින්නයි…

මේ ජනාධිපති යටතේ අටවන ඕනෑම ආණ්ඩුවක් මහජන මතයට විරුද්ධයි… මාසයක්වත් පවතින්න බැහැ… මේ වෙලාවේ තීරණ ගත යුත්තේ පවුලක් නොව රටක් රකින්නයි…

වර්තමාන ජනාධිපති ගෝටාබය රාජපක්ෂ යටතේ අටවන ඕනෑම ආණ්ඩුවක් මහජන මතයට විරුද්ධ පවතින්නක් බවත් එවැනි ආණ්ඩුවක පැවැත්ම ඉතාමත් කෙටි කාලයක් වන අතර රට තීරණාත්මක සංකීර්ණ අභියෝග රැසකට මුහුණපා තිබෙන මෙම අවස්ථාවේ පවුලක් නොව රකිනවා වෙනුවට රට රැකගතයුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කළේය.

ප්‍රධාන ලේකම්වරයා මේ බව අවධාරණය කළේ අද (12) උදේ එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් පල කළ අදහස් පහත දැක්වේ,

“අපේ රටේ ඉතාමත් සංකීර්ණ දේශපාලන තත්වයක් මතු වී තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂට සහ අගමැතිවරයාට ඉවත් වෙන්න කියලා ජනතාව අඛණ්ඩ අරගලයක ඉන්නවා. අගමැතිවරයා ඉවත් වුණත් ජනතාවගේ ඉල්ලීම් සම්පූර්ණයෙන් ඉටුවී නැහැ. ඒ නිසා අරාජිකත්වයක් තියෙන්නේ. ආර්ථික අර්බුදය තවත් වර්ධනය වෙමින් තිබෙනවා. මේ සංකීර්ණ තත්වය නිමාකර රට මුළුමනින් ස්ථාවර කර ගැනීමේ වගකීමක් අපි කාටත් තිබෙනවා. පවතින පාර්ලිමේන්තුවේ සංයුතිය මෙලෙසම තිබියදී කාටවත් ස්ථාවර ආණ්ඩුවක් හදන්න බැහැ. මේ සංයුතිය එසේම තිබියදී හදන ඕනෑම ආණ්ඩුවක් ජනතාව පිළිගන්න සූදානම් වෙන එකක් නැහැ. මේ නිසා අනිවාර්යයෙන්ම අලුත් ජනවරමකට යන්න සිදුවෙනවා. ජනතාව විසින් පත්කර ගන්නා එවැනි පාලනයක් දක්වා මාස හයකවත් අන්තර් පාලනයක් පිහිටුවීම වෙනුවෙන් ජාතික ජන බලවේගය යෝජනා මාලාවක් රටට ඉදිරිපත් කළා.

ඒ යෝජනා මාලාවේ විකල්ප දෙකක් තිබෙනවා. ජනාධිපති ඉල්ලා අස්වුණාම පිහිටුවන තාවකාලික ආණ්ඩුවේ වගකීම් බාරගන්න ජාතික ජන බලවේගය සූදානම් කියන එක පළමු විසඳුම. අපි වගකීමෙන් පැනලා යන්න ලැහැස්ති වෙන්නේ නැහැ. ඒ අනුව මාස හයක් රට කිසියම් ස්ථාවරත්වයකට ගෙනත් ජනවරමකින් ආණ්ඩුවක් පිහිටුවා ගන්න අවස්ථාව දෙන්න ඕනෑ. එහෙම නැත්නම් දෙවන විකල්පය පාර්ලිමේන්තුවේ අනිකුත් කණ්ඩායම් එකතු වී හදාගන්නා ආණ්ඩුවකට ජාතික ජන බලවේගය විපක්ෂයේ සිට උදව් කරනවා. මේ විකල්ප දෙකෙන් කුමන එකක් ක්‍රියාත්මක කළත් පූර්ව කොන්දේසිය තමයි වර්තමාන ජනාධිපතිවරයා ඉවත් වෙන්න ඕනෑ කියන එක. මුළු රටේම විරෝධය තිබෙන්නේ වර්තමාන ජනාධිපතිවරයාට. එහෙම වෙලාවක ජනාධිපතිවරයා තියාගෙන අන්තර්කාලීන විසඳුමක් සොයා ගන්න ඇතැමි පිරිස් උත්සාහ කරනවා. මේ ජනාධිපතිවරයා තනතුරේ තබාගෙන හදන කිසිම අන්තර්කාලීන පාලනයක් සාර්ථක වෙන්නේ නැහැ. එවැන්නකට අපේ කිසිම සම්බන්ධයක් නැහැ. මේ වන විට විවිධ යෝජනා ඉදිරිපත් වෙමින් තිබෙනවා. හිටපු අගමැතිවරයෙක් වන රනිල් වික්‍රමසිංහ අගමැති කර තාවකාලික ආණ්ඩුවක් හදන්න යෝජනාවක් තිබෙනවා. සමගි ජන බලවේගයේ ඇතැම් අය ඊට එකඟත්වය පළ කර තිබෙනවා.

ආණ්ඩුවෙන් ස්වාධීන වූ බව කියන අය නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු නම් තුනක් අගමැති තනතුර සඳහා ජනාධිපතිට යවා තිබෙනවා. මේ යෝජනාවල මූලික හරය ඉන්න ජනාධිපති යටතේ අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් පත්කර ගැනීමයි. මේ ජනාධිපති යටතේ අටවන ඕනෑම ආණ්ඩුවක් ජනමතයට විරුද්ධයි. ජනමතය නියෝජනය කරන්නේ නැහැ. මහජනතාවගේ විශ්වාසය නොලැබෙන කිසිම ආණ්ඩුවකට මාසයක්වත් යන්න බැහැ. මේ වෙලාවේ මූලික අවශ්‍යතාවය වෙන්නේ පවුලක් රැකීම නොවෙයි. රටක් රැකගැනීමයි. සමහර අයගේ යෝජනා තුළ තිබෙන්නේ රටේ ජනතාවගේ අර්බුද විසඳීම නොව රාජපක්ෂ පවුල මුහුණ දෙන අර්බුදය විසඳීමයි. මහින්ද රාජපක්ෂට අගමැතිකම දාලා යන්න වුණාට පස්සේ නිදහසේ ගෙදර නොඉඳ හමුදා කඳවුරක හැංගිලා ඉන්න සිදු වී තිබෙනවා. ඒ ජනමතයට විරුද්ධ නිසයි. මේ නිසා දැන් අවශ්‍ය වෙන්නේ රාජපක්ෂවරු මුහුණ දී තිබෙන අර්බුදයෙන් ගොඩගැනීම නොවෙයි; රාජපක්ෂවරු ඉවත් කර රට සහ ජනතාව ගොඩගැනීමයි.

ගෝඨාභය රාජපක්ෂ විධායක ජනාධිපති ධුරයේ බලතල අඩුකරන්න ලෑස්ති බවත් කාටහරි ආණ්ඩුව බාරගන්න කියලත් කියනවා. ගෝඨාභය රාජපක්ෂ කියන කතා පිළිගන්න කවුරුවත් ලැහැස්ති නැහැ. මේ තරම් බොරු කරලා, මේ තරම් විනාශයක් කරලත් ගෝඨාභය රාජපක්ෂ කියන කතා විශ්වාස කරන්නේ කවුද? ඒ නිසා මේ අරගලයට කෙටිකාලීනව හෝ විසඳුම් සොයන ඕනෑම කෙනෙක් පටන් ගන්න වෙන්නේ ජනාධිපති තනතුරෙන් ගෝඨාභය රාජපක්ෂ ඉවත් කිරීමෙනුයි. ඊට යටත්ව රට ගැන, ජනතාව මුහුණ දී තිබෙන අර්බුදවලට ඉදිරිපත් කර තිබෙන හොඳම විකල්ප විසඳුම ජාතික ජන බලවේගය ඉදිරිපත් කර තිබෙනවා. ඒක පැත්තකට දාලා අවුරුදු 74ක් පුරා රට පාලනය කළ හොරු දෙගොල්ලෝම එකතු කර යන්න උත්සාහ කරනවා නම්, වැඩක් වෙන්නේ නැහැ. දෙපැත්තට බෙදිලා ඉන්න මේ ප්‍රභූ පැලැන්තිය තමන්ගේ අතේම බලය තියාගන්න උත්සාහ කරනවා. මහින්ද රාජපක්ෂට ගෝඨාභය රාජපක්ෂට, රනිල් වික්‍රමසිංහට කතා කරමින් රැකෙන්න බලනවා. බැඳුම්කර කොල්ලයේ මහ මොළකරු, රට විනාශ කළ නායකයා කියලා ඔවුන් පලවා හැර හදාගත්ත ආණ්ඩුවක අගමැතිකම නැවත ඔහුට දෙනවා නම්, එයින් කියැවෙන්නේ මේ අය එකට ඉන්න බවයි. ඔවුන් ජනතාවගේ ප්‍රශ්නවලට, විපතට විසඳුම් නොදුන්නත් බලය හොබවන කණ්ඩායම්වලට විපතක් වන විට එකිනෙකා ආරක්ෂා කර ගන්නවා.

රට බේරාගත හැකි විසඳුම් ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කර තිබෙනවා. ඒ හැර මේ ප්‍රශ්නවලට බාග උත්තර නැහැ. ෂෝට්කට් නැහැ. කල්මරලා විසඳන්න බැහැ. මහ බැංකුවට පත්කර තිබෙන අලුත් අධිපතිතුමා කියලා තිබෙන්නේ සති දෙකක් තුළ ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවා නොගත්තොත් ඉවත් වී යන බවයි. මේ වෙලාවේ ජනතාව තීන්දු ගත යුත්තේ එකිනෙකාගේ බලය ගැන හිතලා නොවෙයි. රට ගැන හිතලයි. ඔවුන් දැන් ලැහැස්ති වෙන්නේ ජනාධිපතිකම් බේරා ගෙන, අගමැතිකම් ලබාගෙන බලයේ ඉන්නයි. නමුත් ප්‍රශ්න කල්දාන්න බැහැ. උත්තරය වන්නේ වත්මන් ජනාධිපති ඉල්ලා අස්වී ජනමතයට ඉඩදෙන පාලනයක් පිහිටුවා ගැනීම පමණයි.

ආණ්ඩුව විසින් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මැර කණ්ඩායම් ගෙන්වා ගෙන නවවෙනිදා මුදාහළ ප්‍රචණ්ඩත්වය රටට, ජනතාවට, අරගලයට හානිකරයි. ඒ නිසා වහාම ප්‍රචණ්ඩත්වය නවත්වන ලෙස අපි අවධාරණය කළා. දැන් එය මර්දනය වී තිබෙන්නේ ආණ්ඩුවේ මැදිහත් වීමෙන් නොවෙයි. දේශපාලන පක්ෂයක් ලෙස අපිත්, වෙනත් සියලු සංවිධානත් ගෙනගිය මතවාදය නිසයි. සටනට හානිකර දේවල් අපි ප්‍රතික්ෂේප කරනවා වගේම ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ වූ, දේපළ කොල්ලකෑ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න පොලිසියට කිසි බාධාවක් නැහැ. නමුත් උද්ඝෝෂණය කරන අය මර්දනය කරන්න දරන උත්සාහයන් පොලිසිය විසින් කොල්ලකෑම් මර්දනය කරන්න යෙදවූයේ නැහැ. බඩුමුට්ටු කොල්ලකෑ අයගේ ඡායාරූප තිබෙනවා. කඩසාප්පු ගිනි තැබූ අයගේ ඡායාරූප තිබෙනවා. සී.සී.ටී.වී. කැමරාවල වීඩියෝ පට තිබෙනවා. ඒ අනුව නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට එහි වගකීම විරෝධතා කණ්ඩායම්වලටත් අනියමින් ජනතා විමුක්ති පෙරමුණටත් පටවන්න උත්සාහයක් තිබෙනවා. හමුදාපතිවරු ළඟ තබාගෙන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා මාධ්‍ය හමුවක් පැවැත්වූවා. ඒකෙන් පැහැදිලි වුණේ එයා එයාගේ සීමාව දන්නෙත් නැති බවයි. ජනාධිපති හිතාගෙන ඉන්නේ එයා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කියලා. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හිතාගෙන ඉන්නේ එයා ජනාධිපති කියලා. නමුත් ආණ්ඩුව වෙනයි. නිලධාරීන් වෙනයි.

ප්‍රචණ්ඩකාරිත්වය පටන් ගත් තැන නොකියා ලොකු චිත්‍රයක් මවන්න කමල් ගුණරත්න උත්සාහ කළා. නීතිය ක්‍රියාත්මක කරනවා නම්, ප්‍රචණ්ඩත්වය පටන්ගත් අයගෙන් ආරම්භ කළ යුතු බව අපි කමල් ගුණරත්නලාට කියනවා. අරලියගහ මන්දිරයේ හිටපු අගමැතිවරයා ප්‍රචණ්ඩත්වය මුදාහැරියා. නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත වගේ විශාල පිරිසක් එතන හිටියා. පාලනය කළ හැකි සිද්ධි නොකර ප්‍රචණ්ඩත්වය නිර්මාණය කර, පැතිරීමට ඉඩහැර විරෝධතාකරුවන්, දේශපාලන පක්ෂ සහ විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ මතට පටවන්න උත්සාහ කළා. අපි අපේ උද්ඝෝෂණවල කිසිම ප්‍රචණ්ඩකාරිත්වයකට ඉඩ තියන්නේ නැහැ. අපි සාමකාමීව, සංවිධානාත්මකව වැඩකරන වගකීමක් සහිත දේශපාලන ව්‍යාපාරයක්. ප්‍රචණ්ඩත්වය රටටත්, අපිටත් හානිකරයි. ආණ්ඩුව නිර්මාණය කළ ප්‍රචණ්ඩත්වය ඒ අය විසින් පාලනය කළේ නැහැ.

ඕනෑම රටක කලබලකාරිත්වයක් ඇතිවුණාම මංකොල්ලකන පිරිසක් ඉන්නවා. ජාතිවාදී කෝලාහලවලදීත් අපි ඒ බව දැක්කා. මේ තත්වයට පත්වෙන්න ඉඩහැරලා, සාමකාමී අරගලයේ ඉන්න අයට චෝදනා කරලා, මර්දනය කරන්න බලාගෙන ඉන්නවා. පසුගිය කාලය පුරාම තිබුණු අරගලවලට ප්‍රචණ්ඩත්වය ගෙනාවේ කවුද කියලා අපි කමල් ගුණරත්නගෙන් අහනවා. ඉතාම සාමකාමීව තිබුණු මිරිහානේ අරගලයට කඩාවැදී ප්‍රචණ්ඩකාරිත්වය ඇති කළ පිරිසක් හිටියා. පොලිසිය බලාගෙන ඉඳිද්දී බස් එකක් ගිනි තිබ්බා. ඔවුන් අත්අඩංගුවට ගන්න කියලා ආණ්ඩුවට බල කළා. තාමත් ගත්තේ නැහැ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිසිය තිබෙද්දී තාමත් ඒ වගඋත්තරකරුවන් අත්අඩංගුවට ගත්තේ නැහැ. එතන ප්‍රචණ්ඩත්වය ඇති කළේ ආණ්ඩුවේ හෙංචයියන්. මාර්තු 23 ජාතික ජන බලවේගය පැවැත්වූ උද්ඝෝෂණ රැලියට ගහන්න ඇවන්ගාඩ් එකෙන් මැරයන් එවා තිබූ බව කමල් ගුණරත්නත් දන්නවා. ගහන්න ඇවිත් සිටි 300ක පරිසක් ගැන කල්ඇතිව අපි හෙළිකළා. ඒ නිසා ඔවුන්ට අකුළාගෙන යන්න සිදුවුණා. ආණ්ඩුවේ කුලී කණ්ඩායම් මිරිහානෙන් පටන්ගෙන රඹුක්කනදී විශේෂයෙන් ආණ්ඩුවට සම්බන්ධ පොලිස් ලොක්කෙක් වාහන ගිනිතබා පුද්ගලයෙකුට වෙඩි තබා මැරුවා. එය හංගන්න බැරිවුණා. අදාළ වගකිවයුතු පොලිස් නිලධාරීන් අදත් රිමාන්ඩ් බාරයේ ඉන්නේ. සෑම සටනක් තුළටම ඇවිත් ප්‍රචණ්ඩත්වයට පත්කරන්නේ ආණ්ඩුවේ මැර කණ්ඩායම්. ඒ කිසි දෙයක් ගැන කතා නොකරන කමල් ගුණරත්න බබා වෙලා අරගලකරුවන් මතට ප්‍රචණ්ඩකාරිත්වය පටවන්න උත්සාහ කරනවා.

අරලියගහ මන්දිරයට කැඳවාගත් මැර කණ්ඩායම් අතර හිටපු ඇමතිලා, මන්ත්‍රීලා හිටියා. පළාත් සභා හිටපු මන්ත්‍රීවරු පළාත් පාලන සභාපතිවරු සහ මැර කණ්ඩායම් එක්වී පොලු මුගුරු රැගෙන ආවා. ඒ අය නවත්වා ගැටුමක් පාලනය කිරීමට කමල් ගුණරත්නලා ගත් ක්‍රියාමාර්ග මොනවාද? පොලිසියේ ලොක්කෝ මැර කණ්ඩායම් එක්ක ගමන් කළා. අරලියගහ මන්දිරයේ ඉඳලා ගෝල්ෆේස් පිටියට මැර කණ්ඩායම් පාගමනින් එද්දී බුදියාගෙනද හිටියේ කියලා අපි අහනවා. ගැටුමෙන් පස්සේ ඇතිවුණු ප්‍රතික්‍රියා ගැන කෑගහලා වැඩක් නැහැ. ප්‍රතික්‍රියාව නරකයි තමයි. ඒ වගකීම බාරගත යුත්තේ හිටපු අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව. කමල් ගුණරත්නට ඒ බව මතක නැහැ. ඔවුන් හොයන්න ඕනෑ මැරයින්. එය නොකර මේ මෝඩ ආණ්ඩුව සහ කමල් ගුණරත්න වගේ නිලධාරීන් කිහිපදෙනෙක් අපේ රටේ මිනිසුන්ගේ මානසිකත්වය කියවාගෙන නැහැ. මුළු රටක්ම පක්ෂ භේදයක් නැතිව මේ ආණ්ඩුවට විරුද්ධයි. පොහොට්ටුවට ඡන්දය දුන් හැටනව ලක්ෂයෙන් ලක්ෂ හැටක්වත් දැන් ආණ්ඩුවට විරුද්ධයි. මුළු නීතිඥ ප්‍රජාවම විරුද්ධයි. සියලු ආගමික නායකයන් මර්දනයට විරුද්ධයි.

මේ කරන්නේ කුඩා කණ්ඩායමක අරගලයක් නොවෙයි, අසාධාරණ අරගලයක් නොවෙයි. ඒ නිසා බියවද්දලා ප්‍රචණ්ඩත්වයේ චෝදනා දාලා මර්දනය කරන්න බැහැ. යුද්ධ ටැංකි, ආමඩ්කාර් දැන් පාරට දාලා තිබෙනවා. රටේ තෙල් නැතිව ඉඳිද්දි විශාල වශයෙන් තෙල් පිච්චෙන බරවාහන පාරට දාලා තවත් නාස්තියක් කරනවා. පොලිසියට මේ ගැටුම් පාලනය කළ හැකියි. නමුත් එසේ නොකර ලංකාවට එරෙහිව යුද්ධයක් කරනවා වගේ සංදර්ශන දානවා. ගෝඨාභය රාජපක්ෂගේ ඔය අසනීපයම තිබෙන කිහිපදෙනෙක් ඉන්න බව අපි දන්නවා. දේශපාලන ප්‍රශ්නවලට මිලිටරි විසඳුම් නැහැ. ආර්ථික ප්‍රශ්නවලට මිලිටරි විසඳුම් නැහැ. යුද්ධ ටැංකිවලින් අපේ රටේ කිසිම ආර්ථික ප්‍රශ්නයක් විසඳන්න බැහැ. වෙඩි උණ්ඩවලින් විසඳන්න බැහැ. තිබෙන විසඳුම ආර්ථිකය ගොඩනැගීමයි. ඒ වෙනුවෙන් දේශපාලන ස්ථාවර බව තිබෙන්න ඕනෑ. දේශපාලන ස්ථාවර බව හදන්න ඊට ගැලපෙන ආණ්ඩුවක් තිබෙන්න ඕනෑ.

මේ වෙනුවෙන් ක්‍රියාකරනවා වෙනුවට ඊට බාධා කරන ප්‍රචණ්ඩකාරිත්වයක් ආණ්ඩුවෙන් ඇති කරලා ඒ බව හංගමින් විරෝධතා දක්වන අයටත් විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ බව ඇඟවීමට කරන උත්සාහයත් වහාම නවත්වන්න කියලා අපි ආණ්ඩුවට කියනවා. රට ඉන්නේ ආණ්ඩුවේ උප්පරවැට්ටිවලින් රැවටෙන තැනක නොවෙයි. බොරු මත හදන්න බැහැ. බොරු මත පරදිනවා. ඒ නිසා යුද්ධ ටැංකිවලින් ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා හීන දකින අයට අපි කියන්නේ දන්න කෙනෙක්ගෙන් අහගන්න කියලයි. අස්ථාවරභාවයෙන් රටට යන්න බැහැ. ලබන සතිය වෙද්දී තෙල් නැතිවෙන බවත්, තවත් විදුලිය කපන්න සිදුවෙන බවක් කියනවා. අවුරුදු දෙකක් හිටි ජනාධිපති හොඳට කරලා තියෙන්නේ. ජනතාවගේ වරමින් ආණ්ඩුවක් හදන්න ඉඩදී යනවා හැර වෙන උත්තරයක් නැහැ. ඒ නිසා අපි ජනතාවට කියන්නේ ජනාධිපති ඉවත් කර අන්තර්කාලීන ආණ්ඩවක් පිහිටුවා ඉක්මනින්ම මහා මැතිවරණයක් දිනාගැනීම වෙනුවෙන් වැඩකරමු කියලයි. ආණ්ඩුවේ ආසාව, කැමැත්ත, සැලසුම තිබෙන්නේ මේ සටන ප්‍රචණ්ඩකාරිත්වයට ගෙනයන එක. කොල්ලකෑම් සිදුකරන එක. ජාතිවාදය අවුස්සන එක. නමුත් ඒ තත්වයන් වැළැක්වීමට මහජනතාව එකතුවෙමින් සිටිනවා. ප්‍රචණ්ඩත්වයන් වළක්වන්න සියලු දෙනාම එකතුවෙන්න කියලා ආරාධනා කරනවා. ආණ්ඩුවට කියන්නේ ඔවුන් මුදාහරින ප්‍රචණ්ඩත්වයේ වගකීම ජනතාව මත පටවන්න සූදානම් වෙන්න එපා කියලයි.”

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු

ප්‍රශ්නය:- “අරගල භූමියට ගිය විපක්ෂ නායකතුමාට ප්‍රහාරයක් එල්ල කළ බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමාට ප්‍රහාරයක් එල්ල නොකළ බවත් ආරක්ෂක ලේකම් කීවා. මේ යට කුමක් හෝ තිබෙන බවට ඉඟියක් කළා. ඒ ගැන මොකද කියන්නේ.”

පිළිතුර:- “ආරක්ෂක ලේකම්වරයෙක් මේ වගේ ප්‍රකාශයක් කිරීමම බරපතළයි. ඔහුගේ ඒ ප්‍රකාශයෙන් කියන්නේ මොකක්ද? “අනුරට ගැහුවේ නැත්තේ ඇයි?” කියලා. ඒ අය කැමති දේ තමයි ඒ කියවෙන්නේ. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් දේශපාලනඥයෙක් නොවෙයි. ඒගොල්ලෝ එහෙම වුණේ ඇයි කියලා හොයාගන්න ඕනෑ. ගෝල්ෆේස් උද්ඝෝෂණය කියන්නේ වෙනම තැනක්. එතැන ඉන්නේ අපේ රටේ දිගුකාලයක් පවතින ප්‍රභූ දේශපාලනයට විරුද්ධ අය. එතැනට අනුර සහෝදරයා ගියේ සාමාන්‍ය පුරවැසියෙක් වගේ. එතැන හිටි අය පිළිගත්තා. එතන තිබෙන සංස්කෘතිය ඒක තමයි. අපි හැමදාම එතැනට ගියේ නැහැ. විපතක් නිසා එතැනට ගියේ. සජිත් මහත්තයා එතැනට ගියේ කොහොමද? ආරක්ෂකයෝ පිරිවරාගෙන ඩිෆෙන්ඩර් අරගෙන ගියේ. එහෙම යනකොට එතැන සිටි අය කලබල වෙනවා. විපක්ෂ නායකට ඒ බව තේරෙන්නේ නැත්නම් ප්‍රශ්නය තිබෙන්නේ එතන. එතනට නොගැලපෙන විදිහට ගියාම විරෝධයක් එන්න හැකියාව තිබෙනවා.

මාධ්‍ය හමුවේ නොකියා කියන්නේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාට ගහන්න සැලැස්සුවේ අපි කියලා. හැබැයි අපි කරන්නේ ඔය හැමෝම දේශපාලනයෙන් පරද්දන දේශපාලනයක්. මහින්ද රාජපක්ෂව අපේ දේශපාලනයෙන් පරද්දලා තිබෙන්නේ. ගෝඨාභය රාජපක්ෂවත් අපි පරද්දනවා. ඔවුන් පරද්දන්න අපිට පුළුවන්. මේ ආණ්ඩුව පරද්දන්න අපිට පුළුවන්. 74 වසරක සාපය පරද්දන්න අපිට පුළුවන්. දේශපාලනයෙන් පරද්දන්න පුළුවන් අය අපි පරද්දනවා. සමගි ජන බලවේගයට උදව් කරන ඉතා කුඩා කල්ලි ආණ්ඩුවත් සමගි ජන බලවේගයත් විවිධ ප්‍රචාර ගෙන යන බව අපි දන්නවා. ඒ මතය නියෝජනය කරමින් ආරක්ෂක ලේකම් වගේ කෙනෙක් කතා කිරීම ඔහුගේ තනතුරට ගැලපෙන්නේ නැහැ.”

ප්‍රශ්නය:- “ජනතාවට විශාල ආර්ථික අර්බුදයක් තිබෙනවා. ආණ්ඩුව උත්සාහ කරන්නේ ඒ ප්‍රශ්නවලට උත්තර සොයන්න නොවෙයිද?”

පිළිතුර:- “ජනතාව ඉල්ලන්නේ ජනාධිපතිත් අයින් වෙලා තාවකාලික ආණ්ඩුවක් පවත්වාගෙන යන්න ඉඩදෙන්න කියලා. ඊට පස්සේ මහා මැතිවරණයකදී ජනතාවට අවශ්‍ය පාලනයක් පිහිටුවා ගන්න ඉඩදෙන්න කියලයි. නමුත් ආපසු කරන්න යන්නේ අගමැතිකමත් ඇමතිකමුත් බෙදාගන්නේ කවුද කියලා තෝරාගෙන ආණ්ඩුවක් අටවා ගන්නයි. ඔවුන් උත්සාහ කරන්නේ තමන්ගේ කෙනෙක් අගමැති කරගන්න. තමන්ගේ කෙනෙක් ඇමතිවරු කරගන්න. මේ කිසිවක් පවතින ප්‍රශ්නවලට උත්තර නොවෙයි.”

Facebook
Twitter
LinkedIn