සාමාකමී උද්ඝෝෂණයට පහර දුන් සියලු මැරයින් හා එය මෙහෙයවූ සියලු දෙනා වහා අත්අඩංගුවට ගනු! – NPP

සාමාකමී උද්ඝෝෂණයට පහර දුන් සියලු මැරයින් හා එය මෙහෙයවූ සියලු දෙනා වහා අත්අඩංගුවට ගනු! – NPP

සාමාකමී උද්ඝෝෂණයට පහර දුන් සියලු මැරයින් හා එය මෙහෙයවූ සියලු දෙනා වහා අත්අඩංගුවට ගතයුතු බව සඳහන් කරමින් ජාතික ජන බලවේගය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉයේ (09) නිකුත් කළ එම නිවේදනය සම්පූර්ණයෙන් පහතිනි පල වේ.

අද(09) අරලියගහ මන්දිරය අසල හා ගෝල්ෆේස් පිටියේ පැවති සාමකාමී උද්ඝෝෂණවල නිරතව සිටි නිරායුද ජනතාවට මිනීමරු රාජපක්‍ෂ පාලනය විසින් මෙහෙයවන ලද මැර පිරිසක් විසින් එල්ල කරන ලද ම්ලේච්ඡ ප්‍රහාරය අපි දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකිමු.

එසේම එම ස්ථානවල සාමකාමී උද්ඝෝෂණවල නිරත වෙමින් සිටි ජනතාවට මරණීය තුවාල සිදුකරමින් එම ස්ථානවල තිබූ තාවකාලික කූඩාරම් ගිණි තබමින් සිදුකළ මෙම ම්ලේච්ඡ මැර ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාත් ඊට නායකත්වය දුන් ආණ්ඩුවේ මැති ඇමතිවරුත්, එය අරලියගහ මන්දිරයේ සිට මෙහෙයවූ මහින්ද රාජපක්‍ෂ ඇතුලු සියලු දෙනාත් වහා අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පමුණුවන ලෙස ආරක්‍ෂක අංශවලට අපි බලකර සිටිමු.

ගෝඨාභය රාජපක්‍ෂ ඇතුලු රාජපක්‍ෂවරුන්ගේ ජනපීඩක පාලනය පන්නා දැමීම සඳහා රට පුරාම ජනතාව ගෙනයන ඉතාමත් සාධාරණ අරගලය මෙවැනි මැර ප්‍රහාරවලින් බියවද්දා නතර කළ නොහැකි බව අවධාරණය කරන අපි මෙම ජනතා අරගලය ජයග්‍රහණය කරා ගෙනයාමට ජනතාවට ධෛර්යය පතමු.

එසේම සාමකාමී හා මුලු රටේම අවධානය දිනාගත් මෙම අරගලය මර්දනය කිරීම සඳහා ගෝඨාභය රාජපක්‍ෂ පාලනය හදිසි නීතියද පනවමින් ඒ සඳහා අවස්ථාවක් සෙයමින් සිටින බැවින් අරගලය ප්‍රචණ්ඩකාරී මගකට ගෙනයාමට ඉඩ නොදෙන මෙන් අරගලයේ නියුතු සියලු බලවේගවලින් ඉල්ලා සිටිමු. පාලනය කළ නොහැකි ප්‍රචණ්ඩත්වය සේවය කරනු ලබන්නේ අරගලයේ ජයග්‍රහණයට නොව එය මර්දනය කිරීමට බලා සිටින දුෂ්ඨ පාලකයන්ට බව ඉතා පැහැදිළි බැවින් ඒ සඳහා අවස්ථා නිර්මාණය කිරීමෙන් වළකින් ලෙසද අපි ඉල්ලා සිටිමු.

රාජපක්‍ෂ පාලනය පළවා හැර 74 වසරක සාපය නිමා කොට ජනතාවාදී පාලනයක් නිර්මාණය කර ගැනීම සඳහා වන මෙම දැවැන්ත ජනතා අරගලය ඉතා ඉක්මනින් ජයග්‍රහණයෙන් කෙළවර කළ හැකි බව විශ්වාස කරන අපි, මෙම අරගලය දුර්වල කිරීමට හෝ මර්දනය කිරීමට පාලකයින්ට අවස්ථා හා ඉඩ ලබා නොදී ධෛර්යයෙන් මෙන්ම අවබෝධයෙන් සටන් කරන ලෙසද සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

ජාතික ජන බලවේගය

2022.05.09

Facebook
Twitter
LinkedIn