වෙඩිතැබීමට අණදුන්නේ තමන් බව කෑගල්ල SSP අධිකරණයේදී පිළිගනියි

වෙඩිතැබීමට අණදුන්නේ තමන් බව කෑගල්ල SSP අධිකරණයේදී පිළිගනියි

පැරණි මිලට ඉන්ධන ඉල්ලා රඹුක්කනදී පැවති විරෝධතාවයේදී ජීව උණ්ඩ යොදා වෙඩි තැබීම සඳහා අනදුන්නේ තමන් බව කෑගල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කිර්තිරත්න ඊයේ (22) කෑගල්ල අධිකරණයේදී පිළිගෙන තිබේ.

එම විරෝධතාවය විසුරුවා හැරීම සඳහා දණහිසෙන් පහළට වෙඩිතැබීමට තමන් අණ දුන් බව මෙහිදී ඔහු අධිකරණය හමුවේ පිළිගෙන ඇත. රඹුක්කන ප්‍රදේශයේ පසුගියදා සිදුවූ විරෝධතාවය අතරතුර ඇතිවූ නොසන්සුන්තාවය පාලනය කිරීම සඳහා එම නියෝග ලබාදුන් බවද ඔහු සඳහන් කර කතිබේ. ඒ අනුව කෑගල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කීර්තිරත්න මහෙස්ත්‍රාත්වරිය හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ,

“රඹුක්කන නොසන්සුන්තාව වර්ධනය වෙද්දි පහළ පොලිස් නිලධාරින්ට සහ කැරලි මර්දන කණ්ඩායම්වලට උපදෙස් දුන්නා පාලනය කරන්න බැරි අවස්ථාවක් ආවොත් අහසට වෙඩි තියන්න ආයුධ ගන්න කියලා.

ෙපස්සේ මම ආයෙත් එම ස්ථානයට ගිහිල්ලා යළිත් විරෝධතාකරුවන් සමග සාකච්ඡා කළා. බවුසර් නිදහස් කරන්න.. නැතිනම් රඹුක්කනම විනාශ වෙයි කියලා කිව්වා.

නමුත් ඔවුන් තව තවත් නොසන්සුන් වුණා.

එවිට මම කැරලි මර්දන ඒකක 01 භාර පොලිස් අධිකාරිවරයාට නියෝග කළා කඳුළු ගෑස් ලීටරයක් ගහන්න කියලා. නමුත් ඔවුන් අපිට රේල් පාරේ ගල්වලින් පහර දුන්නා.

එවිට මගේ පහළ නිලධාරින් කිව්වා පිරවුම්හල සහ බවුසර් දෙකට ගිනි තැබීමට උත්සාහ දරනවා කියලා.

එවිට මම යළිත් කඳුළු ගෑස් ගසා බවුසර් දෙක මුදාගැනීමට උත්සාහ කළා. එවිට පසුපස බවුසරය මුදාගෙන ආරක්ෂාකාරිව කෑගල්ල පොලීසියට යවන්න සමත් වුණා.

පසුව මට දැන ගන්නට ලැබුණා ඉන්ධන පිරවුම්හලට ගිනි තබන බව. එවිට මම නියෝග කළා අහසට වෙඩි කිහිපයක් තියන්න. ඒ අවස්ථාවේ කැරලිකරුවන් සහකාර පොලිස් අධිකාරි ධර්මරත්නට පහරදුන්නා.

ඒ වගේම මම ඒ අවස්ථාවේ දැක්කා කැරලිකරුවන් කණ්ඩායමක් ලයිටර් සහ ගිනිපෙට්ටි අරගෙන බවුසරය අසලට එනවා.

එවිට බවුසරය විනාශවීම වැළැක්වීමට වෙනත් කිසිදු විකල්පයක් නොතිබුන නිසා මම කැරලිකරුවන්ට දණහිසෙන් පහළට වෙඩි තියන්න නියෝග කළා.

බවුසර් දෙකට සහ පිරවුම්හලට තැබූ ගින්න ව්‍යාප්ත වූයේ නම් විශාල ජීවිත හා දේපළ හානියක්වීමට තිබුණා.

පැවති තත්ත්වය මත මාහට හා මාගේ නිලධාරින්ටත් මරණ බයක් දැනුණා.

මා දුන් සියලු නියෝග එම ස්ථානයේ සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරියා ලෙස දුන් නිත්‍යනුකූල නියෝග.” යනුවෙනි.

Facebook
Twitter
LinkedIn