කොළඹ වෛද්‍ය සැපයුම් අංශයේත් අත්‍යාවශ්‍ය ඖෂධවල සහ ශල්‍ය ද්‍රව්‍යවල දැඩි හිඟයක් ඇතියි රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසයි.
එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, මේ වනවිට ඖෂධ වර්ග 1,358ක් තිබිය යුතු නමුත් ඉන් ඖෂධ වර්ග 525ක් අවසන් වී ඇති බවත්ය. එය තිබියුතු සමස්ත ඖෂධ වර්ගවලින් 38.7%ක් බවත් එම නිවේදනයේ සඳහන් කර තිබේ. එමෙන්ම ශල්‍ය ද්‍රව්‍ය 8,553ක් තිබිය යුතු නමුත් ඉන් 5,376ක් අවසන් වී ඇති බවත් එය ප්‍රතිශතයක් ලෙස 62.9%ක් බවත් එහි සඳහන් වේ. ඒ අනුව වෛද්‍ය සැපයීම් අංශයේ ඇති ඖෂධවලින් 50%ක තොග අවසන් වී ඇති බවත් රජයේ ඖෂධවේදීන්ගේ සංගමය සිය නිවේදනය මගින් පෙන්වා දෙයි.
මේ අතර ජීවිතාරක්ෂක ඖෂධ වර්ග 06ක්, අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 239ක් හා කළාතුරකින් අවශ්‍ය වන ඖෂධ වර්ග 280ක්ද, අත්‍යවශ්‍ය ශල්‍ය ද්‍රව්‍ය 2,721ද මේ වනවිට සැපයුම් අංශය තුළ තොග අවසන්ව ඇති බවද එහි සඳහන් වේ.
හෘදයාබාධ සඳහා භාවිත කරන ඖෂධ, ජලභීතිකා සඳහා භාවිත කරන එන්නත් වර්ග මේ වනවිට තොග අවසන් ව ඇති අතර මේවා ඇනවුම් කර ඇති නමුත් ශ්‍රී ලංකාවට ලැබීමට තවත් සති 06ක පමණ කාලයක් ගත වෙනු ඇති බව එම නිවේදනයෙන් පෙන්වාදෙයි.
මෙම තත්වය රට තුළ ඇතිවන බව තම සංගමය මීට මාස 06කට පෙර සියලුම වගකිවයුතු පාර්ශ්වයන්ට දැනුම් දුන් නමුත් පිලිගත හැකි සාධනීය මැදිහත්වීමක් සිදු නොවූ බවත් මේ හේතුවෙනු ඉදිරියේදී රෝහල් පද්ධතිය කඩා වැටීමකට ලක්වීම වැලැක්විය නොහැකි බවත් සංගමය අවධාරණය කරයි.











