ප්‍රංශයේ ජනරජවාදීන් හා නාසිවාදීන් ගැටේ!

ප්‍රංශයේ ජනරජවාදීන් හා නාසිවාදීන් ගැටේ!

පසුගිය අප්‍රියෙල් 10 වැනි ඉරිදා පැවති ප්‍රංශ ජනාධිපතිවරණ පළමු වටයේ ඡන්දයෙන් හිටපු ජනාධිපති එමානුවෙල් මක්රෝන් හා ජාතිවාදී ජාතික පෙරමුණේ (RN) මැරීන් ලුපෙන් දෙවන වටය සඳහා තේරී පත් වී ඇති බව වාර්තා වේ.

මෙහිදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටීම(30%) කැපිපෙනෙන වර්ධනයක් පෙන්නුම් කල අතර දෙවන වටයේදීත් පවතින දේශපාලනය ප්‍රතික්‍ෂේප කිරීමේ ප්‍රතිශතය වැඩි විය හැකි බව පැවසේ. හිටපු ජනාධිපතිවරයා පළමු වටයේදී ඉදිරියෙන් සිටියත්(27%) අවසාන සතියේදී ඔහුට එරෙහිව එල්ලවූ දුෂණ චෝදනාවක් හේතුවෙන් ජාතිවාදී අපේක්ෂිකා මැරීන් ලුපෙන්ගේ ජනප්‍රියත්වය(23%) දක්වා ඉහල නැගිණි. කෙසේවෙතත් රට පුරා වාමාංශික පක්‍ෂ 30%ක ඡන්ද ප්‍රතිශතයක් අත්පත් කර ගැනීමට සමත් වී තිබිණි.

1789 ප්‍රංශ විප්ලවයේ සිට පවතින ජනරජවාදීන් හා රාජාණ්ඩුවාදීන් අතර ගැටුම තවමත් අවසාන වී නොමැත. ප්‍රංශ ඉතිහාසය පුරාවටම ජනරජවාදීන්, නැපෝලියන්වාදීන් හා පසුව (1940-45) ඩිගොල්වාදීන්ද ජාතිවාදී-රාජාණ්ඩුවාදීන් සමග නිතර සටන් වැදුනි. විශේෂයෙන්ම 1795 ඔක්තෝම්බර් 5 වැනිදා ප්‍රංශ විප්ලව සමයේදී පැරීසියේ රාජාණ්ඩුවාදීන්ගේ ප්‍රති විප්ලවීය කැරැල්ල මර්දනය කරනුයේ රෝබෙස්පියෙර්ගේ නියෝග පිට තරුණ පළමුවෙනි නැපෝලියන් විසිනි. මෙහිදී ප්‍රංශ විප්ලවීය රජය නැපෝලියන් ඒ සඳහා තෝරා ගනු ලබනුයේ 1793 අගෝස්තු 27 වනදා ටුලෝන් හි බ්‍රිතාන්‍ය හමුදා සහය ලැබ ඇතිවූ රාජාණ්ඩුවාදී කැරැල්ලක් 5000ක් මරා දමා මර්දනය කිරීම හේතුවෙනි.

මෙම මර්දනයන් හේතුවෙන් රාජාණ්ඩුවාදීන් හා කතෝලික පල්ලිය සිටිනුයේ ජනරජවාදීන් සමග ඉතිහාසගත වෛරයයෙන් යුතුව වේ. එසේම පැරිස් කොමියුන සමයේදීත් ජනරජවාදීන් හා පැරිස් කොමියුනයේ සාමාජිකයින් 20000කට අධික පිරිසක් මරා දැමීමට ජර්මනියේ බිස්මාර්ක්ගේ සහය ලැබූ ප්‍රංශ රාජාණ්ඩුවාදියෙකු වූ අන්ඩොල්ෆ් තියෙර් සමත් විනි. ඉන් පසුව 1940-45 කාලය තුළදීත් හිට්ලර්ගේ හා රාජාණ්ඩුවාදීන්ගේ සහය ලැබූ පිලිප් පෙතාන්ගේ නාසි රුකඩ රජය විසින්ද 20000කට අධික ජනරජවාදීන් හා කොමියුනිස්ට්වාදීන් මරා දමන ලදී. එයට පිළිතුරු ලෙස ප්‍රංශය නාසින්ගෙන් මුදා ගැනීමේ දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයට(CNR) නායකත්වය දෙන ජෙනරල් ඩිගොල් හා ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂය විසින් ලක්ෂයට අධික රාජාණ්ඩුවාදීන් හා නාසිවාදීන් මරා දමා ප්‍රංශය ප්‍රංශය නිදහස් කර ගන්නා ලදී.

ඉරිදා අවසන් වූ ප්‍රංශ ජනාධිපතිවරණයේ දී නැවතත් මෙම එයතිහාසික ගැටුම කරලියට පැමිණ ඇති අතර එහි දෙවන වටයට පෙර නාසිවාදී ජාතික පෙරමුණ පරාජය කිරීමට සියළු වමේ හා දක්ෂිණාංශික ජනරජවාදීන් හිටපු ජනාධිපති එමානුවෙල් මක්රෝන් වටා ඒකරාශි වී ඇත. කෙසේවෙතත් ලිබරල් මක්රෝන් හා නාසිවාදී ලුපෙන්ට එරෙහිව රටේ වාමාංශික පක්ෂ එක් පෙරමුණකට නොපැමිණීම නිසා වමේ ඡන්ද බෙදී ගිය අතර ප්‍රධාන වාමාංශික පක්‍ෂය වන La France insoumise පක්‍ෂයේ අපේක්‍ෂක Jean-Luc Mélenchonහට දෙවන වටය අහිමිවනුයේ ඡන්ද ලක්‍ෂ 4ක වෙනසකිනි. ඔහු 22%ක් ලබා ගනිමින් තෙවන ස්ථානයට පත්වීමට සමත් වූ අතර කිසිදු කාරණයක් සම්බන්ධව පැහැදිලි දේශපාලනය ස්ථාවරයක් නොමැතිවීම තුල ඔහුට සැබෑ වමේ පෙරමුණක් ගොඩනැගීමට අපෝසත් වීම මෙම පරාජයට හේතුවයි. එහෙත් ඔහුද ඉල්ලා සිටිනුයේ ජාතිවාදී ජාතික පෙරමුණට(RN) කිසිදු ඡන්දයක් ලබා නොදෙන ලෙසයි. ඒ අනුව ඔහුගේ සහයද මක්රෝන් වෙත ලැබෙනු ඇත.

Mélenchonගේ පරාජය හේතුවෙන් ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂයට, සමාජවාදී පක්ෂයට හා පරිසරවේදීන්ගේ පක්‍ෂ වලට වමේ ඡන්දදායකයින්ගේ දැඩි විවේචනයක් එල්ල වී ඇත. යම් විදීහකින් වාමාංශික නායකයා ජයග්‍රහණය කලා නම් ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණ දෙවන වටයේදී එමානුවෙල් මක්රෝන් හට Jean-Luc Mélenchon ගෙන් දැඩි අභියෝගයක් එල්ල වීමට ඉඩ තිබිණි. සමස්ථ ඡන්ද ප්‍රථිපලයෙන් 30%ක් ලබා ගැනීමට සියළු වමේ පක්ෂ වලට හැකිවීම තුල දෙවන වටයේදී කවුරු ජනාධිපති වූවත් ප්‍රංශයේ ඊළඟ ආණ්ඩුව වාමාංශික ආණ්ඩුවක් වීමට බොහෝදුරට ඉඩ ඇත. මේ වන විටත් Jean-Luc Mélenchonගේ La France insoumise පක්ෂය අනෙකුත් වාමාංශික පක්ෂ සමග ඒ සඳහා සාකච්ඡා ආරම්හ කර ඇත.

මේ වන විට හිටපු ජනාධිපති එමානුවෙල් මක්රෝන් ජයගන්නා බවට මත පලවුවත් අවසාන සතියේදී ඔහු විසින් කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා Mckinsey නම් වූ ඇමරිකන් සමාගමකට ඩොලර් බිලියන 1ක් ගෙවීම හා එම සමාගම වසර දහයක් පුරා රජයට බදු නොගෙවීම් අඩංගු වාර්තාවක් ප්‍රංශ සෙනට් සභාව විසින් ප්‍රසිද්ධ කිරීම හේතුවෙන් මක්රෝන්ගේ ප්‍රතිරූපය කඩා වැටිණි. එමනිසා දෙවන වටයේදී නාසිවාදී ජාතික පෙරමුණ (RN) අපේක්ෂිකා මැරීන් ලුපෙන් ජයග්‍රහණය කරනු ඇතැයි ඇතැමුන් බිය පළකිරීමත් සමග රටපුරා පැසිස්ට් විරෝධී උද්ඝෝෂණ ත්‍රීව වෙමින් පවතී.

ජනාධිපතිවරණයේ පළමු වටය අවසාන වී සතියක් යාමට පෙර විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් රටේ සියළුම විශ්ව විද්‍යාලවල දිවා රාත්‍රී පුරා රැඳී සිටිමින් නාසිවාදී ජාතික පෙරමුණට හා මක්රෝන්ට එරෙහිව වීදි සටන් වලට අවතීර්ණ වී ඇත. පසුගියදා සෝර්බෝන් සරසවියේ එවැනි වාඩිලා ගැනීමකට රාජාණ්ඩුවාදී මැර ශිෂ්‍ය කල්ලියක් වන AF(action Francaise) විසින් පහරදීමෙන් පිරිසක් තුවාල ලබා තිබිණි. මෙම පහර දීමත් සමග ප්‍රංශය පුරාවටම නාසි විරෝධී උද්ඝෝෂණ උත්සන්න කිරීමට වාමාංශික ශිෂ්‍ය හා තරුණ කණ්ඩායම් තීරණය කර ඇත.

මේ වන විට යුරෝපා සංගමයේ නායකත්වය දරනුයේ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මක්රෝන් විසින් වන අතර චීන-රුසියානු හා ඇමරිකානු බල කඳවුර හමුවේ යුරෝපා සංගමයේ ස්වෛරීභාවය පිළිබඳව ප්‍රංශය දැඩිව පෙනී සිටි. රුසියානු-යුක්රේන ගැටුමේදීත් ඇමරිකාව විසින් පනවනු ලැබූ සම්බාධක ප්‍රංශය පිළිනොගත් අතර වර්තමානයේදීත් ප්‍රංශ බහු ජාතික සමාගම් රුසියාවේ රැඳී සිටින අතර රුසියානු ජනාධිපති පුටීන් සමග රාජතාන්ත්‍රික කතා බහ සිදුකරන එකම යුරෝපීය රාජ්‍යය වනුයේද ප්‍රංශයයි. මෙම නොබැඳි පිළිවෙල මත හිඳිමින් ප්‍රංශ ජනාධිපතිවරයාගේ භූමිකාව ප්‍රංශ සමාජය තුල ඇගයීමට ලක් වී ඇත. එසේම ප්‍රංශ ඉතිහාසය විග්‍රහ කිරීමේදී රාජාණ්ඩුවාදී-ජාතිවාදීන් බලයට පැමිණ ඇත්තේ මහා බ්‍රිතාන්‍යයේ හෝ ජර්මනියේ සහයෙන් පමණක් වේ. ඒ අනුව නාසිවාදීන්(RN) පරාජය වී එමානුවෙල් මක්රෝන් නැවතත් වසර පහකට ප්‍රංශයේ ජනාධිපති ධුරයට පත්වීමට බොහෝදුරට ඉඩ ඇති බව දේශපාලන විචාරකයින්ගේ මතයයි.

Facebook
Twitter
LinkedIn