වද නොවිඳ ජීවත් වීමට බැරි ද?

ජීවිතය වින්දනය කළ යුතු දෙයක් විනා විඳවිය යුතු දෙයක් නොවන බව සියල්ලෝ කියති. එහෙත් සමාජයේ කරුණු පෙළ ගැසෙන්නේ බොහෝ දෙනෙකුගේ ජීවිත විඳවන ඒවා බවට පත් කිරීම පිණිස ය.

ජීවත් වීමට මුදල් අවශ්‍ය ය. “සල්ලි දෙයියන්ගේ මල්ලි” යනුවෙන් ඇතැමෙක් කියති. එහි යම් සාධාරණයක් තිබේ. මුදල් ඒ තරමට බලවත් ය. මුදල් ලැබීමට නම් රැකියාවක් සොයා ගත යුතු ය. එය ලෙහෙසි නැත. රටේ පුර වැසියන්ට සාධාරණ මුදලක් උපයා ගත හැකි රැකියාවක් නිර්මාණය කිරීමට තරම් මෙතෙක් සිටි පාලකයන් දූර දර්ශී වී නැත.

සෑම තරුණයෙකු තරුණියක ම පාසලෙන් පිට මං වන්නේ ජීවිතය පිළිබඳ ප‍්‍රශ්නාර්ථයක් සමගිනි. විශ්ව විද්‍යාල සුදුසුකම් ලබා පිටවන්නන් හැර සෙස්සෝ මානසික වදයට ලක් වෙති. එයට පිළියම් දෙකක් මෙරට පාලකයන් නිර්මාණය කර දී තිබුණි.

1. හමුදා සරණං ගච්ඡාමි.

2. ගාමන්ට් සරණං ගච්ඡාමි.

එහෙත් යුද්ධය නිමා වී ඇති හෙයින් හමුදා සරණ යාම දැන් ලෙහසි නැත. ඇඟළුම් අපනයනය අවම වී ඇති නිසා එම අංශයේ රැකියා ද දැන් හීන වෙමින් යයි. මේ රැකියා ද්විත්වය ම අසීමිත කායික හා මානසික වද ගෙන දෙන ඒවා ය.

එවන් වදයක් විඳීමට අකමැත්තෝ දේශපාලන බත් ගොට්ටන් සරණ යති. මැතිවරණවල දී දේශපාලන අම්බරුවන් ජයග‍්‍රහණය කරවීම වෙනුවෙන් තම කාලය හා ශ‍්‍රමය කැප කොට අසීමිත වද වේදනා විඳිති. එහි ලා රාත‍්‍රිය නිදි වර්ජිත ව මැතිවරණ නීති උල්ලංඝනය කරමින් අපේක්ෂකයාගේ පෝස්ටර් ඇලවිය යුතු ය. විරුද්ධ පාක්ෂිකයන්ට පහර දිය යුතු ය. මහ උළු ගෙදර කල්දේරම් බතෙහි රස බැලිය යුතු ය. මෙවැනි වද අඩු වැඩි වශයෙන් විඳින තරමට ලැබෙන රැකියාව තීරණය වේ.

එවන් හැකියාවක් නැත්තෝ විරැකියාවෙන් පෙළී ජීවිත කාලය ම වදයක් කර ගනිති. මේ අයුරින් ජීවිතය විඳවීම හැර ජීවිතය විඳීමට ක‍්‍රමයක් ඇත්තේ ම නැති ද?…

කරුණු ගවේෂණය දේශපාලනික විඤ්ඤාණයක් සහිත ඔබට භාර ය.

Facebook
Twitter
LinkedIn