“පවුල් පිටින් හොරාකාලා වට්ටපු රට ගොඩගන්න අනික් පක්ෂවලට එන්න කියනවා. පවුලක් විසින් වට්ටපු රටක්, ඒගොල්ලොත් එක්ක එකතුවෙලා ගොඩගන්න පුළුවන්ද? ඒ හොරුත් එක්ක මේ රට ගොඩගන්න බැහැ. ඒ හොරුත් එක්ක කරන්න පුළුවන් තවත් මහජන දේපළ කොල්ලකන එක විතරයි. ජනතා විමුක්ති පෙරමුණ ඒකට සූදානම් නැහැ. අපි විවෘතව කියන්නේ මේ හොර නඩයත් එක්ක එකතුවෙලා මේ රට ගොඩගන්නත් බැහැ. වැටිච්ච ආර්ථිකය ගොඩගන්නත් බැහැ. එහෙම එකතුවෙලා කටයුතු කරන්න කිසිසේත්ම සූදානම් නැහැ කියලා ජනතාවට සහතික කරලා කියනවා. පාලකයෝ මේ අර්බුදය හරියට තක්සේරු කළා නම් කල් ඇතිව විසඳුම් සොයන්න තිබුණා. 2022 අප්‍රේල් මාසය වෙනකොට දැවැන්ත ආර්ථික ප්‍රපාතයකට වැටෙන බව, අහේනියක් ඇතිවෙන බව අපි පුන පුනා කීවා. ඒ කිසිවක් සත පහකට මායිම් නොකර නැති ප්‍රශ්න ඇතිකරන්න එපා කියලා “අපි දන්නවා රට හදන්න.” කියලා කීවේ. කාගෙවත් උපදෙස් ඕනෑ නැහැ. විධායක බලය, තුනෙන් දෙකේ බලය තිබෙනවා. හැකියාව තිබෙනවා. ඩොලර් තිබෙනවා කියලා කයිවාරු ගැහුවා. අපි කිවූ දේවල් මායිම් නොකර මේ දූෂිත පවුල් පාලනය රට තව තවත් වැට්ටුවා.” යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අවධාරණය කරයි.
ඔහු මේ බව පැවසූවේ පැලවත්ත බත්තරමුල්ල හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ ආද (12) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් පවත්වමිණි.
එහිදී ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් වැඩිදුරටත් දචැක්වූ අදහස්,
“අගමැතිතුමා ජාතිය අමතා ඊයේ (11) රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක් කළා. මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් බලාපොරොත්තුව හිටියේ මේ කතාවේ දී අද රට මුහුණ දී තිබෙන බරපතළ ආර්ථික දේශපාලන අර්බුදවලට නිසි විසඳුමක් දෙයි කියලා. නමුත් අවුරුදු 60ක දේශපාලන අත්දැකීම් තිබෙනවා කිවූ අගමැතිවරයාගේ කථාව තුළ මේ අර්බුදවලට කිසිදු විසඳුමක් තිබුණේ නැහැ. ඉතා කනගාටුයි, එතුමා ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුගේ මට්ටමට වැටුණා. එතුමාගේ අපරිණතකම මුළු රටම දැක්කා. ගෑස් පෝලිම්, තෙල් පෝලිම්, කිරිපිටි පෝලිම්, සහ විදුලිය කැපීම් වගේම උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ කිසිම දෙයක් ගන්න නැහැ. බඩු මිල අහස උසට නැගලා. බඩු හිඟයකුත් තිබෙනවා. මේ වෙනකොට තෙල් පෝලිම්වල අපේ රටේ ජනතාවගේ ජීවිත හයක් බිලිගෙන තිබෙනවා. රටේ තිබෙන්නේ මෙවැනි අර්බුදකාරී තත්වයක්.
මේ මාධ්‍ය හමුව පවත්වන මොහොතේ කොළඹ – නුවර මාර්ගය හරස් කර, ගෑස් ඉල්ලා ජනතාව වීදි බැස ඉන්නවා. රට පුරා හැමතැනම මේ වගේ උද්ඝෝෂණ තිබෙනවා. අනික් පැත්තෙන් යල කන්නය වගා කරන්න බීජ වී නැහැ. පොහොර නැහැ. අඩුම ගණනේ කුඹුර හාගන්න ට්‍රැක්ටරයට තෙල් ටික ගහගන්න විදිහක් නැහැ. ධීවරයාට මුහුදු යන්න ඉන්ධන නැහැ. ගෙදර කුප්පිලාම්පුව පත්තු කර ගන්න අම්මලා ආච්චිලා රෑ එළිවෙනකල් භූමිතෙල් පෝලිම්වල ඉන්නවා. ඒ අතරේ රටේ තරුණ තරුණියන් අනෝරා වැසි නොතකා දිවා රෑ නොබලා හදවතේ ඇතිවෙන පීඩනයන් මුදාහරින්න උද්ඝෝෂණය කරමින් ඉන්නවා. ඔවුන්ගේ හද ගැස්ම අගමැතිවරයා හඳුනාගෙන නැහැ. දේශ දේශාන්තරවල සිටින ශ්‍රී ලාංකිකයන් පවා එක හඬින් කියා සිටින කරුණු ගැන කිසිම අවබෝධයක් අගමැතිවරයාට නැහැ. එක්කෝ අගමැතිවරයාට වයසත් එක්ක හැඟීම් දැනීම් නැති තත්වයට පත්වෙලා. නැත්නම් දැනුවත්ව කපටිකමට මේ ප්රශ්නය වෙනතැනකට තල්ලු කරන්න හදනවා. අගමැතිවරයාගේ කතාවේ තිබුණේ යුද්ධය, කොරෝනා, අසූඅට – අසූනවය කියන කරුණු තුන විතරයි.
යුද්ධය අවසන්වෙලා දැන් අවුරුදු 13ක් වෙනවා. යුද්ධය අවසන් කළ පසු මේ රට ආර්ථික අතින් ශක්තිමත් කරයි කියලා ජනතාව බලාපොරොත්තු වුණා. මේ පාලකයන් කීවෙත් එහෙමයි. නමුත් යුද්ධය අවසන් වී අවුරුදු 13ක් ගතවෙන කොට යුද්ධය කාලයේ නොතිබූ ප්‍රශ්න අද තිබෙන්නේ. යුද්ධය කාලයේවත් නොතිබූ පෝලිම් අද ඇතිවී තිබෙනවා. මේ පාලකයන්ගේ අධූරදර්ශී අමනෝඥ වැඩ නිසා මේ තත්වය ඇතිවී තිබෙනවා. කොරෝනා තත්වය තුළ පොහොර ගෙන්වීම නැවැත්වූයේ ජනාධිපතිවරයා. ඉන්දියාවෙන් කෝටි 1200ක පොහොර ගෙන්වන්න වුණා. කුණු පොහොර නැවට ඩොලර් මිලියන ගණනක් ගෙව්වා. ගොවියෝ මහපාරට වැටුණා. එළවළු ගොවියාගේ මුළු ජීවිතයම ආපස්සට තල්ලු වුණා. රටේ සියලුම ගොවිජනතාව මහපාරට ඇද වැට්ටුවේ ජනාධිපතිවරයාගේ අමනෝඥ තීන්දු නිසා. ගෙවල්වල ගෑස් සිලින්ඩර් පිපිරුවේ කොරෝනා නිසා නොවෙයි. හාල් මාෆියාවට අවශ්‍ය විදිහට මිල වැඩිකරන්න ඉඩ දුන්නේ කොරෝනා නිසා නොවෙයි. සීනි, හාල්, පරිප්පු හැමදේකම මිල පැයෙන් පැය වැඩිවුණේ කොරෝනා නිසා නොවෙයි. ඇත්ත අර්බුදය නිවැරදිව දකින්නවත් අගමැතිවරයා සමත් වුණේ නැහැ. ඒකත් වෙන දිසාවකට ඌනනය කරන්න හැදුවා.
පසුගිය සතියේ ආණ්ඩු පක්ෂයේ ඇමතිවරු පවා පල්ලම් බැහැලා හිටියේ පරණ ඉතිහාසය කතා කරලා. ජනතාව මුහුණ දී සිටින ඇත්ත ප්‍රශ්නවලට උත්තර ගේන්න පාර්ලිමේන්තුව පාවිච්චි කළේ නැහැ. රටේ ජාතික ප්රශ්නය අනුර දිසානායක මන්ත්‍රීවරයාගේ හෙල්මට් එක බවට පත්කර ගත්තා. දැවෙන ආර්ථික ප්‍රශ්න, දැවෙන දේශපාලන අර්බුද රටේ තිබෙද්දී, ආණ්ඩු පක්ෂයේ මැතිඇමතිවරු පාර්ලිමේන්තු සතියම යොදා ගත්තේ අනෙකාට අවලාද නගන්න. අගමැතිවරයාගේ කතාවේ හරය වුණෙත් ඒක. අඩුම ගණනේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇති විශ්වාසය යම් හෝ ගෞරවයක් තිබුණේ මහින්ද රාජපක්ෂගෙන් බලාපොරොත්තු වුණා. ඒ විශ්වාසයත් ඊයේ රාත්‍රියේ කළ කතාවෙන් සුනුවිසුනු වෙලා ගියා. අගමැතිවරයාගේ කතාවෙන් කළේ ඇත්ත ප්රශ්නය යට ගහලා ජනාධිපති මල්ලි බේරා ගන්න අයියා ඇවිල්ලා අනියම් තර්ජනයක් කළේ. බොරු බිල්ලෝ මැව්වා. විවිධ චෝදනා නගලා ප්රශ්නය යට ගහන්න හදනවා. ඔය සෙල්ලම දිගින් දිගටම කරන්න ලැහැස්ති වෙන්න එපා කියලා අපි ආණ්ඩුවට නැවත අවධාරණය කරනවා.
මේ රටේ තරුණ පරම්පරාව, මේ රටේ තරුණ ජනතාව ඔය පරණ කතාවලට අහුවෙන්නේ නැහැ. ජනතාව ඊට වඩා බුද්ධිමත්. ජනතාව ප්‍රායෝගිකයි. ජනතාව ඊට වඩා දැනුවත්. ඒ නිසා යුද්ධය, කොරෝනා, අසූඅට-අසූනවය කතා කරලා ඇත්ත ආර්ථික, දේශපාලන ප්‍රශ්න යටගහන්න හදන බංකොලොත් දේශපාලනය මේ රටේ ජනතාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරනවා. අගමැතිවරයාගේ අපරිණත බංකොලොත් උත්සාහය පක්ෂයක් හැටියට අපි පිළිකුලෙන් හෙළා දකිනවා.
රට හදන්න එකතු වෙන්න කියලා අනෙකුත් දේශපාලන පක්ෂවලට ආරාධනා කළ බව කියනවා. අපි දකින්නේ පවුල එකතුවෙලා අපේ රටේ හොරකම්, දූෂණ, වංචා සහ නාස්ති සිදුකරළා ආර්ථිකය මුළුමනින්ම කඩා වැට්ටූ බව. සීනි බදු වංචාවෙන් රුපියල් කෝටි 1500ක් පාඩු කළා. මහ බැංකු කොල්ලයෙන් පාඩු කළ රුපියල් කෝටි 1200 ගැන නීතිය ක්‍රියාත්මක කරනවා කියලා බලයට ආවේ. නමුත් ඒවා වැහුවා. හොරු ටික ඔක්කෝම උසාවිවලින් නිදහස් කර ගත්තා. සුදුළුණු, පොල්තෙල්, සීනි බදු වංචාවලින් මේ රටේ ආර්ථිකය තවත් වැට්ටුවා. නැනෝ නයිට්රජන් පොහොර වංචාවෙන් තිබුණු ඩොලර් ටිකත් නැතිකර ගත්තා. චීන පොහොර නැවට වන්දි ගෙව්වා නොව අලුත් නැවක් එවන බව කීවා. මේ රට වැටුණේ මේ වගේ ක්‍රියාමාර්ග නිසා. ඒ අතරේ ඇමතිවරු ඔක්කොම කයිවාරු ගැහුවේ ඕනතරම් ඩොලර් තියනවා කියලා. ආර්ථික අර්බුදයක් නැහැ කිව්වා. නැති ප්‍රශ්න ඇති කරන්න එපා කිව්වා. පවුල් පිටින් හොරාකාලා වට්ටපු රට ගොඩගන්න අනික් පක්ෂවලට එන්න කියනවා. පවුලක් විසින් වට්ටපු රටක්, ඒගොල්ලොත් එක්ක එකතුවෙලා ගොඩගන්න පුළුවන්ද? ඒ හොරුත් එක්ක මේ රට ගොඩගන්න බැහැ. ඒ හොරුත් එක්ක කරන්න පුළුවන් තවත් මහජන දේපළ කොල්ලකන එක විතරයි.
ජනතා විමුක්ති පෙරමුණ ඒකට සූදානම් නැහැ. අපි විවෘතව කියන්නේ මේ හොර නඩයත් එක්ක එකතුවෙලා මේ රට ගොඩගන්නත් බැහැ. වැටිච්ච ආර්ථිකය ගොඩගන්නත් බැහැ. එහෙම එකතුවෙලා කටයුතු කරන්න කිසිසේත්ම සූදානම් නැහැ කියලා ජනතාවට සහතික කරලා කියනවා. පාලකයෝ මේ අර්බුදය හරියට තක්සේරු කළා නම් කල් ඇතිව විසඳුම් සොයන්න තිබුණා. 2022 අප්‍රේල් මාසය වෙනකොට දැවැන්ත ආර්ථික ප්‍රපාතයකට වැටෙන බව, අහේනියක් ඇතිවෙන බව අපි පුන පුනා කීවා. ඒ කිසිවක් සත පහකට මායිම් නොකර නැති ප්‍රශ්න ඇතිකරන්න එපා කියලා “අපි දන්නවා රට හදන්න.” කියලා කීවේ. කාගෙවත් උපදෙස් ඕනෑ නැහැ. විධායක බලය, තුනෙන් දෙකේ බලය තිබෙනවා. හැකියාව තිබෙනවා. ඩොලර් තිබෙනවා කියලා කයිවාරු ගැහුවා. අපි කිවූ දේවල් මායිම් නොකර මේ දූෂිත පවුල් පාලනය රට තව තවත් වැට්ටුවා. ජනාධිපතිවරයා, අගමැතිවරයා, කැබිනට් මණ්ඩලය, පසුගිය කාලයේ මහජන දේපළ කොල්ලකාලා රට වැට්ටුවා. ආර්ථික ස්වෛරිත්වය වෙනුවෙන් ණය ගත්තේ නැති බව අගමැතිවරයා කියනවා. නමුත් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට පාවලා දීලා ඩොලර් මිලියන 500 ගත්තා. මුළු ආර්ථිකයම චීනයට යට කළා. කෙරවල පිටිය බලාගාරය ඇමෙරිකාවට වික්කා. අනිකුත් ජාතික සම්පත් කුණු කොල්ලයට වික්කා.
මේ ආණ්ඩුව බලයට පත්වී ගෙවී යන අවුරුදු තුනේදී වැඩිම ණය ප්‍රමාණයක් අරගෙන තිබෙනවා. ලබන දෙසැම්බර් 31 වෙනකොට අපේ ණය කන්ද ටි්රලියන 21ක් දක්වා වැඩිවෙනවා. මෙයින් ටි්රලියන 8ක්ම ගන්නේ නන්දසේන ගෝඨාභය පාලනය ඇතුළේ. අපේ මුළු ණයවලින් තුනෙන් පංගුවක්. නන්දසේන රාජපක්ෂ ජනාධිපතිගේ ආණ්ඩුව තමන්ගේ සහෝදර කැලත් එක්ක එකතුවෙලා රට ණය උගුලක හිරකර ජාතික සම්පත් කුණු කොල්ලයට විකුණුවා. විදේශ ගත ලාංකිකයෝ එවූ ඩොලර් මේ පාලකයෝ හොරා කෑවා. නාස්ති කළා. විදේශ ගත ලාංකිකයෝ ඩොලර් නොඑවන්නේ මේ පාලකයන්ට හොරා කන්න නොදෙන්නයි. මේ දූෂිත පාලනයේ හවුල්කාරයන් වෙන්න, මේ දූෂිත පවුල වට්ටපු රට ඒ පවුල එක්ක එකතු වෙලා ගොඩගන්න පුළුවන් කියලා අපිටත් මේ රටේ ජනතාවටත් කිසිදු විශ්වාසයක් නැහැ. මේ රටේ සුවහසක් තරුණ තරුණියෝ ගෝල්ෆේස් පිටියේ රෑ දවල් කෑ ගසා ‘ගෝටා ගෝ හෝම්’ කියන්නේ තවදුරටත් ඔවුන්ට රට පාලනය කරන්න හැකියාවක් නැති නිසයි. වහාම යන්න කියලයි කියන්නේ.
පැලැස්තරවලින් දැන් උත්තර හොයන්න බැහැ. මේ දූෂිත පවුල් පාලනය පලවා හැරීමෙන් පමණයි උත්තර හොයන්නත් හැකිවෙන්නේ. මේ පාලනය වෙනස් කිරීම සඳහා එකතුවෙන්න, සංවිධානය වෙන්න පක්ෂ පාට භේදයකින් තොරව පෙළ ගැහෙන්න කියලා අපි ආරාධනා කරනවා. මේ දූෂිත පාලනය පෙරලා දමා ජනතාවාදී නිෂ්පාදනය මත පදනම් වූ ආර්ථිකයක් අපි ගොඩනගනවා. අදූෂිත පාලනයක් අපි ගොඩනගමු. ඒ වෙනුවෙන් පෙළ ගැහෙන්න. ආණ්ඩුවේ බංකොලොත්කම වහගන්න වෙනත් කුමන්ත්රණකාරී කඩාකප්පල්කාරී ක්‍රියාකරන්න සූදානම් වෙනවා. ඒ කුමන්ත්රණවලට අහුවෙන්න එපා. පසුගිය පාර්ලිමේන්තු සතියේදීම දියත් කළේ ඔය කුමන්ත්‍රණ. අගමැතිවරයාගේ ප්‍රකාශයෙන් කළේ ඒ කුමන්ත්රණයමයි. ඒ කතාවේ හරය ප්‍රශ්නයට උත්තර දෙනවා වෙනුවට විවිධ චෝදනා කරළා පැනයන්න දරපු උත්සාහයක් තිබුණේ. අවුරුදු 60ක් දේශපාලනය කළ අගමැතිවරයෙක් විදිහට මේ ප්‍රශ්නවලින් පැනලා යන්න දෙන්න බැහැ. ඒ නිසා ජනතාවට හුස්ම ගන්න නිදහස, තමන්ගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් පෙළ ගැහෙන්න සටන් කරන්න වගකීමක් තියෙනවා. ඒ සටන නිවැරදිව, ඉතාම පරිස්සමින්, සංවිධානාත්මකව ඉදිරියට ගෙනයන්න, අපි ජනතාවත් සමග ඉන්නවා. මේ මතුවී තිබෙන ආර්ථික දේශපාලන අර්බුදයෙන් ගොඩ ආ හැක්කේ ජනතාවාදී පාලනයක් බිහිකිරීමෙන් පමණයි. එතැනින් මෙහා විසඳුම් නැහැ. දේශපාලන අර්බුදයට උත්තරයක් නැතිව ආර්ථික අර්බුදය ගොඩගන්න බැහැ. කඩා වැටුණු රට අපි ගොඩගනිමු. ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න අපි ජනතාවට ආරාධනා කරනවා. දූෂිත පවුල් පාලනය පෙරළා දමා ජනතාවාදී පාලනයක් අපි ගොඩනගමු. ඒ වෙනුවෙන් සූදානම් වෙන්න කියලා අපි ජනතාවගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා.”
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්…
ප්රශ්නය:- සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයට ආණ්ඩුව බාර ගන්න කියලා ආරාධනා කරලා තිබෙනවා නේද? ඒ ගැන මොකද කියන්නේ ?
මේ දූෂිත පාලකයන් එක්ක, මේ ජනාධිපතිවරයා ඔය පුටුවේ ඉඳිද්දී ඒ ගොල්ලොත් එක්ක හවුලේ මේ රට ගොඩගන්න බැහැ. අපි එවැන්නකට සූදානම් නැහැ. ජනතාවගේ ආශීර්වාදයෙන් අපේ පාලනයක් බිහිකර රට ගොඩගන්න අපි සූදානම්.
ප්රශ්නය:- ගෝඨාගෝහෝම් කියන සටන් පාඨයට විරුද්ධව ආණ්ඩුව ගෝඨාහෝම් කියලා උද්ඝෝෂණයක් කරනවා නේද?
ආණ්ඩුව තැන් තැන්වල අසාර්ථක උද්ඝෝෂණයන් ලෑස්තිකරමින් යනවා. ජනතාවගේ ඇත්ත පීඩනය මුදාහරින උද්ඝෝෂණ කඩාකප්පල් කිරීමේ අරමුණින් එවැනි දේවල් සිදුකරනවා. මේ හදන්නේ ප්‍රශ්නයට උත්තර දෙන්න නොවෙයි. ජනතාව, ජනතාව අතර ගැටුම් ඇති කරන්න. ගැටුම් ඇතිකරලා ප්රශ්නය යට ගහන්න තවත් එක් අසාර්ථක උත්සාහයක් දරනවා.
ප්රශ්නය:- ජනාධිපතිවරයා ඉල්ලා අස්නොවන බව ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා කීවා. එහෙම වුණොත් මොකද වෙන්නේ. ?
ජනාධිපතිවරයා විතරක් නොවෙයි, අගමැතිවරයා යන්නෙත් නැහැ කියලා අපිට ආරංචියි. ඒ කියන්නේ ඔවුන්ගේ පාර්ශ්වයෙන් ප්‍රශ්නයට උත්තරයක් නැහැ. ස්වාධීන වූ මන්ත්‍රීවරුන් කියන්නෙත් රාජපක්ෂවරුන්ගෙන් තොර කැබිනට් මණ්ඩලයක් ඕනෑ බවයි. ජනාධිපතිවරයා එයට එකඟ වෙලත් නැහැ. ජනතාවගේ හඬට ඇහුම්කන් නොදී බලහත්කාරයෙන් පුටුවේ ඉන්න ගිහාම අර්බුදය තවත් වැඩිවෙනවා. ජනතාවට සිද්ධ වෙන්නේ තවත් සටන් කරන්න.
ප්රශ්නය:- ප්‍රධාන විපක්ෂයේ නායකයා මන්දගාමී ස්වරූපයක් දක්වනවා. ඒ ගැන මොකද හිතන්නේ?
විපක්ෂ නායකවරයාගේ භූමිකාව ගැන ජනතාවට අවබෝධයක් තක්සේරුවක් තිබෙනවා. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කියන ධුරය නොවෙයි, ජනතාවගේ ඇත්ත වුවමනාව ඉටුකරන විපක්ෂයේ නායකයෙක් ජනතාවට ඕනෑ. මේ රටේ ජනතාව නිල විපක්ෂ භූමිකාව වෙනුවට සැබෑ විපක්ෂ භූමිකාව කරන එක ගැන තක්සේරුවක් තිබෙනවා.
ප්රශ්නය:- විදේශ ගත ශ්‍රී ලාංකිකයෝ ලංකාවට ඩොලර් එවන්න සූදානම් වෙනවා. ඒ ගැන දකින්නේ කොහොමද?
අපේ පක්ෂයේ නායක අනුර දිසානායක සහෝදරයා විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඩොලර් 500 බැගින් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හැකි බව කියන කොට එය උපහාසයට ලක් කළා. ඒ කට්ටියම දැන් ඩොලර් 300 බැගින් එවන්න කියලා විදේශ ගත ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කරනවා. කිහිප දෙනෙක් එවූ බව පේන්න තිබෙනවා. සාතිශය බහුතරයක් “මේ හොරුන්ට හොරා කන්න ඩොලර් එවන්නේ නැහැ. දූෂිත පාලනය වෙනස් කළ දවසට දහස් ගණන් ඩොලර් එවන්න සූදානම්” බව කියනවා.
ප්රශ්නය:- අවුරුදු උත්සව සමයේ ආණ්ඩු විරෝධී අරගල කුමන ආකාරයක් ගනීවිද?
අවුරුදු සමයේ අරගලය අත්නොහරින බව තරුණයෝ කියා තිබෙනවා. ඒ තමයි තරුණයන්ගේ ඇත්ත හද ගැස්ම. ඉතිහාසයේ තරුණයෝ අරගල කළේ මේ විදිහට. ඒ අයට කීවේ නොමග ගිය තරුණයන් කියලා. ඇත්තටම නොමග ගියේ තරුණයන් නොවෙයි, ආණ්ඩුව. එය නිසි මගට ගන්න මැදිහත් වෙන්නේ මේ රටේ තරුණ පරම්පරාව. එදත් එහෙමයි. අදත් එහෙමයි. තරුණ අරගලයේ ප්‍රතිඵලයක් විදිහට තමයි මහ බැංකුවේ බක පණ්ඩිත අධිපති කබ්රාල් ඉවත්කර ගන්න හැකි වුණේ. මෝඩ මුදල් ඇමති ද අයින් කරන්න ආණ්ඩුවට සිද්ධ වුණේ තරුණයන්ගේ අරගලයෙන්. අද යම් හෝ ප්‍රතිසංස්කරණ සිද්ධ කර තිබෙන්නේ තරුණ තරුණියන්ගේ සටන නිසා. ඇත්තටම ජනතාවට අවුරුද්ද සමරන්න විදිහක් නැහැ. මේ ආණ්ඩුව බලයට පත්වුණාට පස්සේ 2020, 2021, සහ 2022 අලුත් අවුරුදු කන්න ලැබුණේ නැහැ. අලුත් අවුරුද්ද උදාවීමත් එක්ක ග්රහමාරු වී එන අලුත් ග්‍රහමාරුවත් එක්ක සටන්කාමී ජනතාවගේ සටනට තවත් පන්නරය ලැබී ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවා ගැනීම මේ රටේ ජනතාවගේ ප්‍රාර්ථනයයි.










