පසුගිය සීතල යුධ සමයේ දකුණු ඇමරිකාවේ ප්රගතිශීලි ආණ්ඩුවලට එරෙහිව අළුගෝසුවන් පුහුණු කිරීම සම්බන්ධයෙන් ප්රකටව සිටි මධ්‍යම ඇමරිකාවේ රටක් වන හොන්ඩුරාස් රාජ්‍යයේ ජනතාව පසුගිය වසරේ නොවැම්බර් 28 වැනිදා එරට පැවති ජනාධිපතිවරණයෙන් සමාජවාදී අපේක්ෂිකා Xiomara Castro ජනාධිපතිනිය ලෙස තෝරා ගන්නා ලදී. මෙම තෝරා ගැනීම ඇමරිකාව හා ඒ දක්වා එරට දේශපාලන තීරණයන් සිදුකල ඇමරිකානු බහු ජාතික සමාගම් විසින් අකැමැත්තෙන් හෝ අනුමත කරනු ලබනුයේ හිටපු ජනාධිපතිවරයා වූ Juan Orlando Fernandez දුෂිත පුද්ගලයෙකු මෙන්ම ඇමරිකාව තුල මත්ද්‍රව්‍ය ජාවාරම් වලට ඍජු වගඋත්තරකරුවෙකු වීමයි. ඒ අනුව පසුගිය අඟහරුවාදා හොන්ඩුරාස් පොලීසිය විසින් හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඇමරිකානු අධිකරණය වෙත ලබා දීමට නියමිතව ඇත.
අවසාන මොහොත දක්වා හිටපු ජනාධිපති Juan Orlando Fernandez විසින් Xiomara Castroගේ නව රජයට එරෙහිව කුමන්ත්‍රණ පිට කුමන්ත්‍රණ සිදුකරමින් සිටියේ තමන්ට එරෙහිව සිදු වීමට නියමිත නඩු වලින් ආරක්ෂා වීම සඳහා වේ. විශේෂයෙන්ම නව පාර්ලිමේන්තුවේ කතා නායකවරයා තෝරා ගැනීමේදී පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් මිලට ගනිමින් තමන්ගේ අපේක්ෂකයෙකු ඒ සඳහා ජයග්‍රහණය කරවනු ලැබීය. කෙස්වෙතත් Xiomara Castro නව ජනාධිපතිනිය ලෙස දිවුරුම් දුන් නමුත් සමාජවාදී වැඩපිළිවෙල ජයග්‍රහණය කරලීම සඳහා පාර්ලිමේන්තුව තුල ඇයගේ පක්ෂයට ඇත්තේ සුළු බහුතරයක් පමණක් බව මාධ්‍ය මේ අතර වාර්තා කර සිටි.
මෙම වසරේ ජනවාරි 27 වැනිදා ඇය ජනාධිපතිනිය ලෙස දිවුරුම් දුන් අවස්ථාවට ඇමරිකානු උප ජනාධිපතිනිය වන කමලා හැරිස්, ස්පාඤ්ඤ රජු Felipe VI සහභාගී වී සිටියහ. උත්සව සභාව ඇමතූ Xiomara Castro වසර ගණනාවක් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ ග්‍රහණයට ලක් වී, ඩොලර් බිලියන 17ක ණය අර්බුධයක හිර වෙමින් ජනගහණයෙන් 50%ක් අන්ත දරිද්‍රතාවයකින් පීඩාවිඳින ජනතාවක් වෙසෙන හොන්ඩුරාස් රාජ්‍යය තුල සමාජවාදී සමාජයක් ස්ථාපිත කරන බව සපථ කර සිටියාය. සැමටම සමානව සෞඛ්‍යය, අධ්‍යාපනය, ආරක්ෂාව හා රැකියා අවස්ථා තහවුරු කරන බව පවසමින් චේගුවේරාගේ සුප්‍රකට සටන් පාථය වන “hasta la victoria siempre” උස් හඬින් හඬඟා කියමින් තම කථාව අවසන් කරනු ලැබුවාය.
තම ප්‍රථම මැතිවරණ පොරොන්දුව ඉටු කරමින් පසුගිය අඟහරුවාදා හිටපු ජනාධිපති Juan Orlando Fernandez ගේ නිවස වැටලු 600කින් යුත් පොලිස් කණ්ඩායමක් ඔහු අත්අඩංගුවට ගනු ලැබ ඇත. තවත් මාස තුනක් ඇතුලතදී Juan Orlando Fernandez ඇමරිකාවේ නිව්යෝර්ක් අධිකරණයට භාර දීමට නියමිතය.
කෙසේවෙතත් එරට නීති විශාරදයින් ප්‍රකාශ කරනුයේ ඔහුගේ අත්අඩංගුවට පත්වීම එරට ශ්රේෂථාධිකරණය විසින් ගනු ලැබු තීරණයක් වුවද සමස්ත අධිකරණ පද්ධතිය පුරාම පත්වී සිටින විණිශ්වකරුවන් හිටපු ජනාධිපතිවරයාගේ මිතුරන් වන බැවින් අදාළ අධිකරණ ක්‍රියාදාමය සාධාරණව සිදු වේ යයි අනුමාන කල නොහැකි බවයි. ඩොනල්ඩ් ට්‍රම්ප් පාලන සමයේ Orlando Fernandez ඔහුගේ කිට්ටු මිතුරෙකු ලෙස ප්‍රකට වූ අතර ඇමරිකාව තුල මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වීම මත ඇමරිකානු ජනතාවගෙන් එල්ල වුණු විරෝධය හේතුවෙන් බයිඩන් පාලනය විසින් ඔහු අත්හැර දමන ලදී.










