මෙවර නිදහස් දින රාජ්‍ය උත්සවයට කාදිනල්තුමා සහභාගී නොවෙයි…

මෙවර නිදහස් දින රාජ්‍ය උත්සවයට කාදිනල්තුමා සහභාගී නොවෙයි…

මෙවර නිදහස් දින රාජ්‍ය උත්සවයට සහභාගී නොවීමට කාදිනල්තුමා තීරණය කර ඇතැයි කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා කොළඹ අගරදගුරු මැදුරේදී අද (03) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

එමෙන්ම කාදිනල්තුමා විසින් සෑම වසරකම බොරැල්ල, සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේදි තමන් විසින් පවත්වන නිදහස් දින දේව මෙහෙය නොපැවැත්වීමටත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා තීරණය කර ඇතැයි සිරිල් ගාමිණී පියතුමා පැවසීය.

කාදිනල් හිමියෝ මෙම තීරණය ගෙන ඇත්තේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් සාධාරණයක් ඉටුනොවීම සහ බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයෙන් අත්බෝම්බයක් හමුවීමේ සිද්ධියට අදාළව එහි සේවය කරන මුනීන්ද්‍රන් නැමති සන් ක්‍රිස්ටියන්වරයාගේ නිදහස අහිමි කර අසාධාරණ ලෙස අත්අඩංගුවේ තබාගෙන සිටීම යන කරුණු හේතුවෙනි.

එසේ වුවත් රටපුරා දේවස්ථානවල දී රට පුරා දේවස්ථානවල නිදහස් දින දේව මෙහෙයන් පැවැත්වෙන බවත් කාදිනල්තුමන්ගේ නියෝජිතයෙක් නිදහස් දින රාජ්‍ය සැමරුමට සහභාගී වන බවත් එහිදී සඳහන් කළේය.

මෙම බෝම්බ තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරන පරීක්‍ෂණ ගැන සෑහීමකට පත්නොවන බව හා එම පරීක්‍ෂණ කඩිනම් කළ යුතු බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී මහේස්ත්‍රාත්වරියද පොලීසියට පැවසූ බව කී සිරිල් ගාමිණී පියතුමා අහිංසකයන්ට වද හිංසා කරන පසුබිමක් තුළ එම දේවස්ථානයේ දේවමෙහෙය මෙවර පැවැත්වීම කළ නොහැකි බවට කාදිනල්තුමන් තීරණය කළ බවද සඳහන් කළේය.

Facebook
Twitter
LinkedIn