බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ බෝම්බ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණවලදී ආණ්ඩුව හා පොලීසිය එක්ව නාටකයක් රඟ දක්වන බව පෙනෙන්නේ යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසති.
එම සිද්ධියේ සත්‍යය හෙළි කරගන්නා තුරු සටන් කරන බව කී කාදිනල්තුමෝ පොලීසිය අත්අඩංගුවට ගෙන සිටින ‘මුනි’ නැමති සැකකරු ඇතුළු පිරිසට සාධාරණය ඉටුකරදීම වෙනුවෙන් පෙනී සිටින බවත් ඒ සම්බන්ධව නීතීඥයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් සඳහන් කළහ.
කාදිනල්තුමන් මේ බව පැවසුවේ පාස්කු ප්‍රහාරය සහ දේවස්ථාන අත්බෝම්බ සිද්ධිය පිළිබඳ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සමඟ සූම් තාක්ෂණය ඔස්සේ පැවති සම්මන්ත්‍රණයක දීය.
ආණ්ඩුවට හෝ පොලිසියට ඉන් ලිස්සා යාමට ඉඩ නොදෙන බව උන් වහන්සේ එහිදී අවධාරණය කළේ ය.
“මේ සිද්ධියේ ඇත්ත නැත්ත සම්පූර්ණයෙන්ම හෙළිදරව් කර ගන්න කල්ම අපි මේ ආණ්ඩුවට විරුද්ධව අරගලයක් කරනවා.
මොකද මේ ආණ්ඩුවයි මේ පොලිසියයි කරන නාටකය අපිට පැහැදිලිවම පේනවා. ඒ නිස යි මම අපේ පියතුමන්ලාට කිව්වේ එදා උදේ වරුවේ දර්ශන බලන්න කියලා. මොකද අපිට එතකොට මේ බෝම්බය වෙන කවුරු හරි ගෙනැත් තිබ්බාද කියන එක හොයා ගන්න පුළුවන් වෙනවා නේ. ඉතින් ඒ අනුව අපිට හොයාගන්න පුළුවන් වුණා.
අනිත් එක අර ‘මුනි’ කියන එක්කෙනාගේ ඇඟට තියලා මේක දාලා අත හෝදගන්න පොලිසිය උත්සහ කෙරුවා. පොලිස් ඇමති ඒක තමයි ඒ ප්රකාශයේදී කිව්වේ. ඒ වගේ දේවල් කරන්න අපිට දෙන්න බැහැ, සාධාරණ හදවතක් තියෙන ඕනෑම මනුස්සයෙකුට. ඒ නිසා අපි මේ කාරණව එහෙම ලිස්සලා යන්න දෙන්නේ නැහැ ආණ්ඩුවටවත් පොලිසියටවත්. අපිට උසාවිය තියෙනවා. උසාවිය ගැන අපිට විශ්වාස යි. ඒ නිසා මේ කාරණාව උසාවියේදී, මේ කරපු වැරැද්ද හරිගස්සන්න.
ඒ මනුස්සයාට වුණ වැරැද්ද හරිගස්සන්න අපි කටයුතු කරනවා. මොකද පොලිසිය භාර ඇමති එදා වැඩි වෙලා යන්න ඉස්සෙල්ලා කෙලින්ම පැනලා කියපු දේ තමයි මේක මේ මනුස්සයා කරපු වැඩක් කියලා. අනිත් එක මේක විතරක් නෙමෙයි අර කොහෙද ඉස්පිරිතාලේ තියාපු බෝම්බෙත් මේ මනුස්සයාගේ ඇඟේ පැටෙව්වා. ඉතින් මේවා මේ පොලිසිය ගහලා මිනිස්සුන්ට තර්ජනය කරලා, ස්ටේට්මන්ට්ස් අරගෙන කරන්න හදන යුක්තිය අපි පිළිගන්නේ නැහැ. අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඒක නිසා අපි මේ මනුස්සයාට සහ ඒ අනෙක් තුන්දෙනාටම වෙච්ච අසාධාරණය ගැන අපි ඉදිරිපත් වෙලා කටයුතු කරන්න තීරණය කරලා තියෙනවා.”
එමෙන්ම පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉටුකරගැනීම සඳහා තමන් හා සම්බන්ධව කටයුතු කරන තිදෙනකුට ඉදිරියේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලැබෙන බවත් ඒ අනුව මේ මස අවසානයේ පමණ සිට එම සංවිධානය ඍජුව ගණුදෙනු කිරීමට අවස්ථාව හිමිවන බවත් කී කාදිනල්තුමෝ වින්දිතයන්ට යුක්තිය සොයාගෙන යන ගමනේ දී එය මහත් රුකුලක් වනු ඇතැයි ප්‍රකාශ කළහ.










