නගරාධිපතිනි රෝසිගේ ලක්ෂ පහේ වාහනයට ජවිපෙ හැර සියල්ලෝම එකතු වෙති

නගරාධිපතිනි රෝසිගේ ලක්ෂ පහේ වාහනයට ජවිපෙ හැර සියල්ලෝම එකතු වෙති

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය වන රෝසි සේනානායකගේ භාවිතයට වාහනයක් ලබා ගැනීම වෙනුවෙන් මසක කුළිය සඳහා ලක්ෂ පහක් වෙන් කිරීමේ යෝජනවා නගර සභාව විසින් අනුමත කර තිබේ.

නිල රථය අලුත්වැඩියාව සඳහා යොමු කර ඇති නිසා මෙලෙස වෙනත් වාහනයක් කුලියට ගැනීම සිදුවන බවට අදාළ යෝජනාව පසුගිය 28 වැනි දින නගර සභාවට ඉදිරිපත් කර ඇත්තේ නගරාධිපතිනිය විසිනි. ඊට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් පමණක් විරුද්ධ වී ඇති අතර යෝජනාවට පක්ෂව එක්සත් ජාතික පක්ෂය, පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය ඇතුළුව නගර සභාවේ අනෙකුත් මන්ත්‍රීවරුන් සිටිමින් එය අනුමත කර තිබේ. ඊට අමතරව කොළඹ මහ නගර සභාවේ උප නගරාධිපති වන මොහොමඩ් ඉක්බාල් යන අයට ආරක්ෂක රථයක් ලබා ගැනීම වෙනුවෙන් මාසිකව රුපියල් 139,000ක මුදලක්ද අනුමත කර ඇති බව පැවසේ.

මේ සම්බන්ධයෙන් යෝජනාව සභාවට ඉදිරිපත් වූ අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් නායක හේමන්ත වීරකෝන් මන්ත්‍රීවරයා සිය විරෝධය ප්‍රකාශ කරමින් පවසා ඇත්තේ කොළඹ මහ නගර සභා බලප්‍රදේශයේ ජනතාව මෙන්ම රටේම ජනතාව කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින මොහොතක, ආණ්ඩුව ජනතාවට දරගාත නොහැකි ලෙස බඩු මිල ඉහළ දමමින් ජනතාවට එදිනෙදා ජීවිතය ගැටගසා ගැනීමට නොහැකි ලෙස අසීරු තත්වයකට පත්කර සිටින මොහොතක මෙලෙස නාස්තිකාර ලෙස ජනතා බදු මුදල් වැයකිරීමට විරෝධය පළකරන බවයි. එසේම වියදම් අවම කිරීමේ අවශ්‍යතාවයක් ඇති අවස්ථාවක මෙවන් අධික මිල ගණන්වලට වාහන කුලියට ගැනීම අනුමත කළ නොහැකි බවද ඔහු පෙන්වා දී තිබේ. මෙවන් මොහොතක නගරාධිපතිනයේ පුද්ගලික රථයක් රාජකාරී කටයුතු වෙනුවෙන් යොදා ගන්නා ලෙසත් එසේ නොමැතිනම් සිය හිතවතකුගේ රථයක් හෝ ඒ වෙනුවෙන් ලබා ගෙන ආදර්ශයක් සපයන්නැයි ඔහු නගරාධිපතිනියට යෝජනා කර තිබේ.

කෙසේ වුවද ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් යෝජනාවට විරුද්ධ වුවත් නගර සභාවේ බලය හිමි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම, පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම ඇතුළු අනෙකුත් මන්ත්‍රීවරුන් යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දෙමින් එය අනුමත කර තිබේ.

Facebook
Twitter
LinkedIn