ඉතාලියේ ENI තෙල් ගවේෂණ සිදුකරන බහු ජාතික සමාගම හා බටහිර අප්‍රිකාවේ අයිවරි කෝස්ට් රාජ්‍යය ඒකාබද්ධව සිදු කරන ලද කැනීම් වල ප්‍රථිපලයක් ලෙස ඛනිජ තෙල් හා ගෑස් නිධියක් සොයා ගැනීමට සමත් වී ඇත. මෙම සොයාගැනීම මගින් තෙල් බැරල් බිලියන 2ක් හා ඝණ අඩි බිලියන 2400ක ගෑස් සංයුතියක් නිපදවා ගැනීමට හැකිවන බවට උපකල්පනය කර ඇති අතර 2023 වසරේ සිට ඒවා ලෝක වෙළඳපලට යැවීමට එරටට හැකි වනු ඇත. මේ දක්වා කොකෝවා,කෝපි, කපු, උක් හා රටකජු වැනි කුෂි නිෂ්පාදන මගින් පමණක් ලෝක වෙළඳපලේ ඉල්ලුම සැපයු අයිවරි කෝස්ට් රාජ්‍යය 2023 සිට තෙල් නිපදවන රටක් බවට පත්වීමෙන් පසු ඔපෙක් සංවිධානයේ සාමාජිකත්වයද හිමිවීමට නියමිතය.
මෙම ඓතිහාසික සොයා ගැනීම “Baleine” (තල්මහ) ලෙස හඳුන්වා ඇති අතර 2023 වසරේ සිට දිනකට තෙල් බැරල් 12000ක් හා ගෑස් ඝන අඩි මිලියන 17,500ක් නිපදවීමට නියමිතය. 2026 වනවිට තෙල් බැරල් 75000 සිට බැරල් ලක්ෂය දක්වා වැඩි කරනු අතර මෙම තෙල් ගවේෂණය සඳහා ඉතාලියේ ENI සමාගම ඩොලර් බිලියන 11ක් ආයෝජනය කර ඇත. එහිදී අයිවරි කෝස්ට් රාජ්‍යයට හිමි වන ලාභයේ ප්‍රතිශතය 17%ක් ලෙස අදාළ ගිවිසුමේ සඳහන් වේ. සමස්ථ ගවේෂණය සඳහා ENI සමාගම වැය කල මුදල ගෙවීමෙන් පසුව ගිවිසුම් ප්‍රකාරව එරට රජයට 52%ක් හිමි වනු ඇති අතර 48%ක් අදාළ සමගමට හිමි වනු ඇත.
රටේ විදුලි බලාගාර සක්‍රිය කිරීම සඳහාද මෙම නව ගෑස් භාවිතා කරනු ඇති අතර ඉන් පසුව විදුලිය නිපදවීම සඳහා දැනට භාවිතා කරනු ලබන ගල් අඟුරු බලාගාර වසා දැමීමටද දෙපාර්ශ්වය එකඟතාවයට පැමිණ ඇත. මෙම තීරණය පසුගියදා ලෝකයේ අඟුරු බලාගාර ඉදිකිරීම අවසන් කිරීම සඳහා glasgow ජාත්‍යන්තර සම්මුතිය මත පදනම්ව ගනු ලැබූ බව දෙපාර්ශ්වය මාධ්‍ය වෙත සඳහන් කර සිටියහ.
මෙම නවතම සොයා ගැනීමෙන් පසුව ලෝකයේ සුප්‍රසිද්ධ තෙල් සමාගම් වන total, Tullowoil විසින් සිදු කරන ලද පරීක්ෂණ වලින් නිගමනය කර ඇත්තේ අයිවරි කෝස්ට් හි තවත් තෙල් නිධි 51ක් පවතින බවයි.
මිලියන 27ක ජනගහනයක් වෙසෙන අයිවරි කෝස්ට් රාජ්‍යයේ 43%ක ප්‍රතිශතයක් වයස අවුරුදු 15 ට අඩු තරුණ ප්‍රජාවක් නියෝජනය කරන අතර සිවිල් යුධ තත්වයන් හා හමුදා කුමන්ත්‍රණ රාශියකට මුහුණ දුන් රටකි. මෙම ගැටුම් වාසියට හරවා ගනිමින් සාමය ඇතිකිරීමට යයි පවසමින් ප්‍රංශ හමුදා භටයින් 1000ක් අයිවරි කෝස්ට් හි රඳවා ඇත්තේ අන්තර් ජාතික මුල්‍ය අරමුදලේ උපදෙස් පිට 1991 වසරේදී එරට අගමැති වශයෙන් සිටියදී රාජ්‍ය දේපල සංකේතාත්මකව ප්රෑන්ක් එකකට පුද්ගලීකරණය කල පසුව 2010දී එරට ජනාධිපතිධුරයට පත් Alassane Ouattaraගේ ඉල්ලීම පිටය.










