චීන ඔත්තුකරුවෙකු හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් හසු වේ !

චීන ඔත්තුකරුවෙකු හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් හසු වේ !

මහාචාර්ය charles lieber යනු ඇමරිකාවේ සුප්‍රකට හාර්වඩ් විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ ප්‍රධානියා මෙන්ම එම විද්‍යාලයේ ආචාර්යවරයෙකි. පසුගිය 22 වනදා ඇමරිකාවේ බොස්ටන් ෆෙඩරල් අධිකරණය විසින් ඔහු වරදකරුවෙකු බවට පත් කරනුයේ චීනය වෙනුවෙන් ඇමරිකාවේ ආර්ථික හා තාක්‍ෂණික තොරතුරු එරටට ලබා දුන් බවට චෝදනා කරමිනි.

චීනය විසින් ලොව පුරා පවත්වාගෙන යනු ලබන ආර්ථික හා තාක්‍ෂණික අරමුණු ඉලක්ක කරගත් තම ප්‍රචාරක ජාලය (soft power) ඔස්සේ දියත් කර ඇති “දක්ෂයෝ 1000” නැමැති ව්‍යාපෘතියට මහාචාර්ය charles lieber විසින් තොරතුරු ලබා දුන් බවට ඇමරිකාවේ අභ්‍යන්තර රහස් ඔත්තු සේවය (FBI) ඉදිරියේ හා අධිකරණයේදී පිළිගෙන ඇත. මෙය තහවුරු කරමින් බෝස්ටන් නීතිපතිවරයා මාධ්‍ය අමතා ප්‍රකාශ කර සිටිනු ලැබුවේ ඔහුට මේ සඳහා මසකට ඩොලර් 50,000 බැගින් වසර තුනක් පුරා ගෙවා ඇති බවයි. මෙම ගෙවීම සිදු කර ඇත්තේ වුහාන් තාක්ෂණික විශ්ව විද්‍යාලයෙන් වන අතර අදාළ මහාචාර්යවරයා එහි විද්‍යාගාරයක් ස්ථාපිත කිරීම සඳහා ඩොලර් මිලියන 1.5ක් ලබා ගෙන ඇති බවත් වාර්තා වේ. ඊට අමතරව ඔහුගේ එදිනෙදා වැඩ කටයුතු සඳහාද ඩොලර් 150,000ක් ගෙවා ඇත.

2008 දී චීන කොමියුනිස්ට් පක්‍ෂය මැදිහත් වීමෙන් ක්‍රියාවට නගන ලද මෙම “දක්ෂයෝ 1000ක්” (Thousand Talent’s) නමැති ව්‍යාපෘතිය මගින් ලොව පුරා සිටින බුද්ධිමතුන් හඳුනා ගනිමින් ඔවුන්ගේ අත්දැකීම් හා හැකියාවන් චීනයේ ආර්ථික සංවර්ධයන් සඳහා අවශෝෂණය කර ගැනීමට ඉලක්ක කර ඇත.

විශේෂයෙන් විද්‍යාව හා නැනෝ තාක්‍ෂණය සම්බන්ධයෙන් ලොව පුරා සිටින විශේෂඥයන්හට මෙම ව්‍යාපෘතිය මගින් මුදල් ලබා දෙමින් ඔවුන්ගේ සහය චීන ආර්ථික හා තාක්‍ෂණික කේෂ්ත්‍රයන්හි සංවර්ධනය සඳහා දායක කර ගනී. ඇමරිකාව හා බටහිර මෙම ව්‍යාපෘතිය විවේචනය කරනුයේ මෙය ඍජුවම චීන රතු හමුදාවේ උපක්‍රමික මිලිටරි අරමුණු සඳහා යොදා ගන්නා බවට චෝදනා කරමින්ය. බටහිර රටවල හා ඇමරිකාවේ බුද්ධිමය දේපල සොරා ගැනීම හා චීනය වෙනුවෙන් ඔත්තු බැලීම සඳහා මෙම විද්වතුන් යොදා ගන්නා බවට ඇමරිකාව 2018 සිට චීනයට චෝදනා කරනු ලබයි.

අත්අඩංගුවට ගන්නා ලද charles lieber මහාචාර්යවරයා නැනෝ තාක්‍ෂණය සම්බන්ධයෙන් විශේෂඥයයෙකු වන අතර පසුව බොස්ටන් අධිකරණයේදී දින හයක නඩු විභාගයකට භාජනය කර ඇත. ඇමරිකාවේ විශ්වවිද්‍යාල කේෂ්ත්‍රය වෙනත් රටක මිලිටරි අවශ්‍යතා සඳහා විවර කිරීම, උපයා ගත් අසීමිත මුදල් කන්දරාව ඇමරිකානු රජයට හෙළි නොකිරීම හා ඒ සඳහා බදු මුදල් නොගෙවීම, ඔහුගේ විදේශ බැංකු ගිණුම සැඟවීම යන චෝදනා යටතේ ඔහුට නඩු පවරා ඇත.

මෙම වැරදි ඔහු විසින් අධිකරණයේදී පිළිගැනීම හේතුවෙන් වසර කීපයක සිර දඩුවම් නියමවීමට නියමිත බව ඇමරිකානු මාධ්‍ය මේ අතර වාර්තා කර සිටි.

Facebook
Twitter
LinkedIn