රුසියාවේ උදව්වෙන් අභ්‍යවකාශයට ගිය ජපන් ප්‍රකෝටිපතියා

රුසියාවේ උදව්වෙන් අභ්‍යවකාශයට ගිය ජපන් ප්‍රකෝටිපතියා

රුසියානු අභ්‍යවකාශ ආයතනය සමග එක් වී, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගිය ජපන් ජාතික බිලියනපතියෙකු වන 46 හැවිරිදි Yusaku Maezawa ඔහුගේ සහායක Yozo Hirano දින 12 කට පසු ඊයේ (20) යළි පෘථිවියට පැමිණ තිබේ.

පසුගිය දෙසැම්බර් 08 වැනි දින මොවුන් දෙදෙනා අභ්‍යවකාශයට ගියේත් ආපසු පැමිණියේත් ‘සොයූස්‘ කැප්සියුලයක ආධාරයෙනි. මොවුන් දෙදෙනාගේ අභ්‍යවකාශ ගමනට සහාය ලබා දුන්නේ රුසියන් ගගනගාමී ඇලෙක්සැන්ඩර් මිසුර්කින් මැදිහත් වෙමිනි.

මෙය රුසියානු අභ්‍යවකාශ ආයතනයේ මෙහෙයවීම යටතේ සිදු කළ පළමු පෞද්ගලික ගගන සංචාරය වන අතර දශකයකට පසු රුසියාව අභ්‍යවකාශ සංචාරක ව්‍යාපාරයට නැවත පැමිණීම මෙම ගමනත් සමඟ නැවත ආරම්භ කර තිබේ. ඉදිරියේ දී ඇමෙරිකානු පෞද්ගලික ගගන සමාගම්වලට නොදෙවෙනි අයුරින් තමන් ද පෞද්ගලික ගගන සංචාර ආරම්භ කරන බව ද රුසියානු අභ්‍යවකාශ ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

පසුගිය දෙසැම්බර් 08 වැනි දින ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත පැමිණි ජපන් ජාතික බිලියනපතියා එහි දෛනික ජීවිතය ගතකළ ආකාරය වීඩියෝගත කරමින් ඔහුගේ යූටියුබ් නාලිකාවක් හරහා ප්‍රසිද්ධියට පත්කර තිබේ. ගගනගාමීන් මුත්‍රා උරා ගැනීම සඳහා අතේ ගෙන යා හැකි පුනීලයක් ප්‍රදර්ශනය කරමින් ඔහු පැවසුවේ “මුත්‍රා කිරීම ඉතා පහසුයි. ” යනුවෙනි. ඔහු සිය යූටියුබ් අනුගාමිකයින්ට තේ පානය කරන ආකාරය සහ ශුන්‍ය ගුරුත්වාකර්ෂණ බලයෙන් නිදා ගන්නා ආකාරය එහිදී පෙන්වීය. යූ ටියුබ් හි මිලියන 1.5ක අනුගාමිකයින් අමතමින් 46 හැවිරිදි ප්‍රකෝටිපතියා අභ්‍යවකාශයේදී දත් මදින ආකාරය සහ වැසිකිළියට යන ආකාරය පැහැදිලි කළේය. සංචාරය නිමවා ඔවුන් තිදෙනා සෝයූස් කැප්සූලයෙන් කසකස්ථානයට ගොඩබැස තිබේ.

Facebook
Twitter
LinkedIn