අවුරුදු එකක් වයසැති කුඩා සිඟිත්තෙක් තනිවම ඉතාලියට පැමිණේ !

අවුරුදු එකක් වයසැති කුඩා සිඟිත්තෙක් තනිවම ඉතාලියට පැමිණේ !

දෙවන ලෝක යුධ සමයේ අවුට්ස්විච් සිර කඳවුරේ ඉතා රහසිගතව කුඩා දරුවෙක් ආරක්ෂා කල සිද්ධිය පදනම්ව නිර්මාණය වූ බ්රුනෝ ආපිට්ස්ගේ “වෘක්කයින් අතර නග්නව” නැමැති සුප්‍රකට නව කතාව සිහි ගන්වමින් වසරක් වයසැති අප්‍රිකානු දරුවෙකු තවත් සංක්‍රමිකයන් 70 දෙනෙකු සමග ඉතාලියේ lampedusa දිවයිනට පැමිණි අපූර්ව පුවතක් ඉතාලියෙන් වාර්තා වේ.

“ඇවිදින්නටත් පෙර ඔහු මධ්‍යධරණී මුහුද තරණය කර තනිවම ඉතාලියට පැමිණ තිබීම පුදුම සහගතයි. ඔහුට තමන් පැමිණි බෝට්ටුව මුහුණ දුන් දැවැන්ත රැලි හෝ කුණාටු මගින් සිදුවිය හැකිව තිබිණු අනතුරුදායක තත්වය ගැන අවබෝධයක් නෑ. ඔහුගේ වික්‍රමය සමාන කල හැක්කේ නුතන මොයිස් කෙනෙකුගේ වීරත්වයට පමණයි” ඉතාලියේ පලවන Repubblica පුවත්පත එසේ තම වාර්තාව නිම කර තිබිණි.

මෙම දරුවා අදාළ බෝට්ටුවට නංවා ඇත්තේ ඔහුගේ දෙමාපියන් විසින් බවත් ඔවුන්ට එහි ඇතුළුවීමට අවසර නොලැබෙන්නට ඇතැයි සිතිය හැකි බව ඉතාලි රජය ප්‍රකාශ කරයි. ඔහු ඇතුළු ඔහුගේ බෝට්ටුවේ සිටි තවත් 70 දෙනෙකු ඉතාලි මුහුදු ආරක්ෂක අංශ විසින් මුදාගෙන තිබිණි.

ඔහු සමග පැමිණි අනෙකුත් සංක්‍රමණකයින් දරුවා පිළිබඳව තොරතුරු ලබා දීමට අපෝසත් වී ඇති අතර දරුවාගේ වයස අනුව ඔහුට තම අනන්‍යතාවය ඔප්පු කර පැවසීමට තරම් හැකියාවක් නොමැති බව ඉතාලි පුවත්පත් සඳහන් කර සිටි. කෙසේ ‍වෙතත් ගමනාන්තය දක්වා ඔහුට කිසිදු අනතුරක් සිදුවීමට ඉඩ නොතබා ඔහුට ආරක්ෂාව සැලසීමට අනෙකුත් සංක්‍රමිකයින් සමත්වීම ප්‍රාතිහාර්යයක් බව ඉතාලි පුවත්පත් වැඩිදුරටත් වාර්තා කර තිබිණි.

පසුගිය සති කීපය තුල ඉතාලියේ ස්ථාන 7ක් වෙත අප්‍රිකානු සංක්‍රමිකයින් 500 දෙනෙකු ලිබියාව, ටියුනීසියාව හරහා පැමිණ ඇති බව වාර්තා වේ. අතිශයින් අනතුරුදායක මෙම ගමන් මාර්ගය තුල මෙම වසරේ මුල් කාර්තුවේදී පමණක් පුද්ගලයින් 1340ක් මිය ගොස් ඇති බව ලෝක සංක්‍රමිකයන්ගේ සංවිධානය (MIO) විසින් නිකුත් කල වාර්තාවක සඳහන් වේ. පසුගිය මාසයේ පාප් වහන්සේ විසින්ද යුද්ධයෙන්, සාගතයෙන් මිදීමට පලා එන සංක්‍රමිකයන්ට යුරෝපයේ දොරටු විවර කරන ලෙස යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටියහ.

මේ අතර මධ්‍යධරණී මුහුද තරණයකර යුරෝපයට අසීරු කොන්දේසි යටතේ පැමිණෙන සංක්‍රමිකයන් මුහුදේදී මුදා ගැනීමට හා ඔවුන් ආරක්ෂා කිරීමට යුරෝපා රටවල ආරක්‍ෂක අංශ ඉක්මන් මැදිහත්වීම් සිදු නොකරන බවට මානව අයිතිවාසිකම් සංවිධාන යුරෝපා සංගමයේ රටවලට චෝදනා කරනු ලබති. open arms නම් රාජ්‍ය නොවන සංවිධානය මෙසේ පවසා සිටිනුයේ පසුගිය නොවැම්බර් මාසයේ මාස 6ක කුඩා දරුවෙකු ඉතාලි මුහුදේ ගිලී යාම සම්බන්ධයෙන් ඍජුවම යුරෝපා සංගමයට වගකීම පවරමිනි. ඉතාලි මාධ්‍ය පවසන ආකාරයට මේ දක්වා කුඩා දරුවන් 8000ක් මෙලෙස පසුගිය වසර තුල පමණක් ඉතාලියට පැමිණ ඇත.

Facebook
Twitter
LinkedIn