ශ්‍රී ලංකාවේ චීන තානාපති කී. සෙන්හොංග් උතුරු පළාතේ දින තුනක සංචාරයක නිරත වී ඇති අතර එම සංචාරය සඳහා ඔහුට දැඩි ආරක්ෂාවක්ද ලබා දී ඇති බව වාර්තා වේ.
චීන තානාපතිවරයාගේ මෙම සංචාරයේ ඊයේ (17) දින නිමාවට පත්කර ඇත. එම සංචාරයේදී තානාපතිවරයා යාපනයේ මහජන පුස්තකාලය නැරඹීම, උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා සමඟ සාකච්ඡාවකට එක්වීම, යාපනයේ ධීවරයින්ට දැල් ආම්පන්න හා වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීම, ඓතිහාසික නල්ලූර් කන්දස්වාමි කෝවිල වෙත පුද සත්කාර කිරීමට එක්වීම, උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5කට චීනයෙන් ROI ජංගම ජල පිරිපහදු 5ක් පරිත්‍යාග කිරීමද ඇතුළු කටයුතු රැසකට එක්ව තිබේ.
ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයෙකු මෙලෙස උතුරු පළාතේ සංචාරයක නිරත වීම මේ වනවිට බොහෝ පාර්ශවයන්ගේ අවධානයට යොමුව තිබෙන අතර ඉතිහාසයේ පළමුවරට චීන තානපතිවරයෙකු වෙට්ටියකින් සැරසී, නල්ලූර් කෝවිල වැඳ පුදා ගැනීමට පැමිණීමම සරළ කරුණක්ද නොවන බව ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර සිටින පාර්ශව පවසයි.
විශේෂයෙන්ම උතුරේ දූපත් තුනක ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ චීන සූර්ය බල විදුලි ව්‍යාපෘති අත්හිටුවීමත් සමග එම දූපත්වල සූර්ය හා සුළං බල ව්‍යාපෘති ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ඉන්දීය අදානි සමාගමට ලබා දීමේ සැලසුම් කර ඇත. බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිවරයාගේ ඉන්දීය සංචාරය අතරතුරදී ශ්‍රී ලංකවේ ඩෙල්ෆ්, නයනතිව්, අනලතිව් දූපත් වල ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ චීන දෙමුහුන් විදුලිය ව්‍යාපෘති අත්හිටවූ බවට කොළඹ චීන තානාපති කාර්යාලය පසුගියදා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසූවේ තුන්වන පාර්ශ්වයක ‘ආරක්ෂක සැලකිල්ල’ හේතුවෙන් එම පියවර ගත් බවයි.
සංචාරය අතර තුර චීන තානාපති කී. සෙන්හොංග් මාධ්‍යයට අදහස් දක්වා ඇත්තේ, “ලංකාවත් චීනයත් අපි දෙගොල්ලොටම එකට වැඩ කරලා අනාගතය දීප්තිමත් කරන්න පුළුවන්. මම හිතනවා ඒකට මේක ආරම්භයක් කියලා. ඉදිරියේදී සහයෝගිතාවයෙන් වැඩ කිරීමට අවස්ථා සොයා ගැනීමට අපි බැඳී සිටිනවා,” යනුවෙනි.










