ඇවන්ගාඩ් සමාගමේ සභාපතිවරයාට අයත් බව කියන අලුත්ගම සින වත්ත වැලිපැන්න පාර ප්‍රදේශයේ සංචාරක නිකේතන භූමියේ නව ඉදිකිරීමක් සඳහා කැණීම් කිරීමේදී මිනිස් හිස් කබල කොටස් සහ අස්ථි කොටස් හමුව තිබේ.
එලෙස හමුවූ මිනිස් හිස් කබල කොටස් සහ ඇටසැකිලි කොටස් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය පරිදි කළුතර නාගොඩ මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශ්‍රියාන් අමරසේන මහතා ස්ථානීය පරීක්ෂණයට ලක්කර බව අලුත්ගම පොලීසිය පවසයි.
මෙම පරිශ්‍රය ඇවන්ගාඩ් සමාගමේ සභාපතිවරයාට අයත් එකක් බවත් එම ආයතනය මෙයට මාස තුනකට පමණ කලින් යාබද බ්ලොග් ගල් ව්‍යාපාරයක් පවත්වන ඉඩමෙන් පර්චස් පහක් මිලදී ගෙන ඇති අතර එම කොටසේ සිදුකළ කැණීමකදී මෙම මිනිස් හිස්කබල් කොටස් හමුවූ බව ඇවන්ගාඩ් ආයතනයේ නිලධාරියෙක් අලුත්ගම පොලිසියට කළ පැමිණිල්ල අනුව පොලිසිය වහා ක්‍රියාත්මක වී උසස් පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත කළුතර අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් බන්දුල වීරසිංහ මහතාව පොලිස් පැමිණිල්ල ලැබුණු දිනට පසුදා එම හිස් කබල කොටස් හමුවූ කැණීම් කළ ස්ථානය පරීක්ෂාවට ලක්කළ බව වාර්තා වේ.
වැඩබලන මහේස්ත්‍රාත්වරයා එම ස්ථානයේ පරීක්ෂණයෙන් අනතුරුව එම ආයතනය සිදු කරනු ලැබූ කැණීම් තාවකාලිකව නවතා පොලිස් ආරක්ෂාව එම ස්ථානයට යොදවන්නැයි නියෝග කර තිබේ. එම නියෝගය ක්‍රියාත්මක කළ පොලීසිය පසුදිනම කළුතර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා කැඳවා කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සමග එම ස්ථානයේ නැවත පරීක්ෂාවකින් පසු මෙම භූමියෙන් සොයා ගනු ලැබූ හිස් කබල සහ ඇටසැකිලි කොටස් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මුද්‍රා තබා නාගොඩ රෝහල වෙත රැගෙන ගොස් තිබේ.









