ප්‍රියන්ත කුමාර දියවඩන මහතා අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් කටයුතු කළ ආකාරය ප්‍රසංසනීය බව සඳහන් කළ ලිපියක් අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ වරකාගොඩ ඥානරතන මහානායක හිමියන් විසින් ඉම්රාන් ඛාන් අගමැතිවරයා වෙත යවා ඇති බව වාර්තා වේ.
ප්‍රියන්ත කුමාර දියවඩන මහතා ඝාතනය සැලවුණු සැණින්, එම ඝාතනය හෙලා දැකීමටත්, ඝාතනයට සම්බන්ධ වුණු අන්තවාදීන් කඩිනමින් නීතිය හමුවට ගෙන ඒමටත්, ඔවුන්ට නිසි දඩුවම් පැමිණවීමටත් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් කටයුතු කිරීම පාකිස්තානයත් ශ්‍රී ලංකාවත් අතර පවතින මිතුදම් තවත් ශක්තිමත් කිරීමට හේතුවක් යැයි ද මහා නාහිමියෝ එම ලිපියෙන් පෙන්වා දෙති.
පාකිස්තානයට කැළැලක් වී ජාත්‍යන්තරයේ අවධානයට ලක් වුණු, එම ම්ලේච්ඡ ඝාතනය හෙළා දකිමින්, ඊට එරෙහිව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පියවර ගැනීම, එතුමාගේ ශක්තිමත් නායකත්වය පිළිඹිබු කිරීමක් බව ද මහා නා හිමිපානෝ යැවූ ලිපියෙහි සඳහන් වෙයි.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර හමුවේ අර්බුදවලට මුහුණ දෙද්දී, අසල්වැසියකු ලෙස මෙන්ම අවංක මිතුරකු ලෙස පාකිස්තානයේ සහාය සැමවිටම ශ්‍රී ලංකාවට හිමි වුණු බවත්, එම මිතුදම් දිගටම පවත්වා ගෙන යෑමට අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ක්‍රියාකාරීත්වය හේතුවනු ඇති බවත් මහා නා හිමිපානෝ යැවූ ලිපියෙහි වැඩි දුරටත් දැක්වෙයි.
ඊට අමතරව, ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ පවුලේ සාමාජිකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සුදුසු පියවර ගැනීම කොළඹ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය හරහා සිදු කරන ලෙසත් අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ වරකාගොඩ ඥානරතන මහා නා හිමිපානෝ එම ලිපියෙන් ඉල්ලා ඇත.










