තමන් වෙනුවෙන් ගෙන එන අයවැයක් දිනා ගැනීමට ජනතාව පෙළගැසිය යුතුයි – අයිතීන් උදෙසා කාන්තාවෝ

තමන් වෙනුවෙන් ගෙන එන අයවැයක් දිනා ගැනීමට ජනතාව පෙළගැසිය යුතුයි – අයිතීන් උදෙසා කාන්තාවෝ

“එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සෑම දරුවන් හයදෙනෙකුගෙන් එක්කෙනෙක් වර්ධන ඌනතාවයන්ගෙන් පෙළෙන බව කියනවා. වතුකරයේ ගත්තොත් තුන්දෙනකුගෙන් එක් අයෙක් වර්ධන ඌනතාවයන්ගෙන් පෙළෙනවා. අම්මලාට දරුවන්ට කන්න දෙන්න විදිහක් නැහැ. බඩු මිල අහස උසට ගිහින්. කුස පොත්ත පිට පොත්තට ඇලිලා. ඒත් වියදම් වැඩිකර ගෙන තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයට. මේ අයවැය කිසිසේත්ම ජනතාවාදී අයවැයක් නොවෙයි. මෙය කාන්තාවන්ගේ හා ළමුන්ගේ සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරන අයවැයක් නොවෙයි. එය පාලකයන්ගේ සුඛවිහරණය වෙනුවෙන් හදපු අයවැයක්. එමනිසා අපි ජනතාවට කියනවා, ඔබ වෙනුවෙන් හදන, කාන්තාවන්, දරුවන් වෙනුවෙන් හදන අයවැයක් ගෙන ඒම සඳහා ඔබ වහාම රටේ සම්පත් බේරා ගැනීමට පෙළගැසිය යුතුයි.” යැයි අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ සඳහන් කරයි.

ඇය මේ බව සඳහන් කර සිටියේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී අද (300 පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ,

“මේ වනවිට 2022 අයවැය පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා වෙමින් තිබෙනවා. අධ්‍යාපන, කාන්තා හා ළමා කටයුතුවලට අදාළ අමාත්‍යාංශය යටතේ වැය ශීර්ෂය දෙසැම්බර් පළවෙනි දිනට යෙදී තිබෙනවා. මේ වනවිට ළමා හා කාන්තා කටයුතු පිළිබඳව අමාත්‍යාංශයක් වෙන්වී නැහැ. ඒ පිළිබඳව තිබෙන්නේ රාජ්‍ය අමාත්‍යාංශයක්. එයට කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් අධ්‍යාපන, පාසල් සඳහා යටිතල පහසුකම් සකස් කිරීම, අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයට අයත් වෙනවා. 2022 මේ වෙනුවෙන් පුනරාවර්ථන වියදම් විදිහට වෙන්කර තිබෙන්නේ රුපියල් මිලියන 18,105යි. ප්‍රාග්ධන වියදම් රුපියල් මිලියන 4,700යි. 2021ට සාපේක්ෂව 2022දී වියදම් රුපියල් මිලියන 7,625කින් වියදම් කපා දමා තිබෙනවා. ඒ කියන්නේ පසුගිය වසරට වඩා 25%කින් අරමුදල් කප්පාදු කර තිබෙනවා. දරුවන්ගේ හා කාන්තාවන්ගේ ආරක්ෂාව, කාන්තාවන් සවිබල ගැන්වීම, පෙර පාසල් සඳහා මුදල් වෙන්කිරීම පිළිබඳව රට තුළ විශාල කතිකාවක් තිබියදී, රටේ වැඩිම මුදල් ප්‍රමාණයක් වෙන්කර තිබෙන්නේ යුද්ධයක් නැති රටක, වෙනත් රටක් යුද ප්‍රකාශයක් නොකළ අවස්ථාවක ආරක්ෂක අමාත්‍යාංශයටයි. සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට වෙන් කළ මුදලටත් වඩා වැඩියි. රුපියල් බිලියන 373ක් එයට වෙන්කර තිබෙනවා. සෞඛ්‍යයට වෙන්කර තිබෙන්නේ රුපියල් බිලියන 153යි. අධ්‍යාපනය සඳහා වෙන්කර තිබෙන්නේ රුපියල් බිලියන 169යි. මේ දෙකම එකතු කළත් ලැබෙන්නේ රුපියල් බිලියන 322යි. එහෙත් ආරක්ෂක වියදම් රුපියල් බිලියන 373යි. කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් මිලියන 573යි. ඒ මුදල්වලින් මිලියන 493ක්ම වෙන්කර තිබෙන්නේ වැටුප්, ගමන් ගාස්තු හා සේවාවලටයි.

ප්‍රාග්ධන වෙනුවෙන් වෙන්කර තිබෙන්නේ රුපියල් මිලියන 80යි. පරිවාස හා ළමා කටයුතු අධිකාරිය සඳහා මුදල් වෙන්කිරීම් ප්‍රමාණවත් නැහැ. කාන්තාවන් සවිබල ගැන්වීම වෙනුවෙන් වෙන්කර ලද මුදල් රුපියල් මිලියන 40කින් අඩුකර තිබෙනවා. ලොව පුරාත් රට තුළත් කාන්තාවන්ගේ ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳව සාකච්ඡා වෙමින් තිබියදී ඒ පිළිබඳව නීති හදන පාර්ලිමේන්තුව තුළ කාන්තාවන් වාචික හිංසනයට ලක්වෙමින් තිබෙනවා. කාන්තාවන් පහත් තැනකට ඇද දැමීමට කටයුතු කර තිබෙනවා. කාන්තාවන් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන්කර නැතිවා පමණක් නොව අයවැය විවාදය තුළ කාන්තාවන් පීඩාවට පත්කරමින් තිබෙනවා. ආණ්ඩු පක්ෂයේ තිස්ස කුට්ටි මන්ත්‍රීවරයා කාන්තාවන්ට අපහාස වන අයුරින් අදහස් ප්‍රකාශ කළා. ඒ වෙනුවෙන් ආණ්ඩුවම රටේ කාන්තාවන්ගෙන් සමාව ඉල්ලිය යුතු යැයි අපි යෝජනා කරනවා.

මේ වසළ මන්ත්‍රීවරු කසළ අයවැයක් වෙනුවෙන් වසළ කතා කියමින් කාන්තාවන් අපහාසයට ලක්කරනවා. කසළ අයවැයක් සම්මත කර ගන්න හදනවා. මේ වන අතර තුර ත්‍රීකුණාමලයේ කින්නියාව අසළ ප්‍රදේශයේදී පාරුවක් පෙරලී ගියා. අපේ රටේ සංවර්ධනය කා සඳහාද කියන කාරනය මෙමගින් පැහැදිලි වෙනවා. ඇතැම් මන්ත්‍රීවරුන්ගේ මාසික විදුලි බිල ලක්ෂ 18ක් පමණ වෙනවා. ඒත් අපේ දරුවන්ට ප්‍රමිතියක් නැති පාරුවක ජීවිත අවදානමකින් යන්න සිදුවෙලා තිබෙනවා. මේ විෂමතාවය රටේ නායකයන්ට පේනෙන්නේ නැහැ. මේ නිසා රටේ ඕනෑම තැනක මෙවැනි ඛේදවාචකයන් ඇති විය හැකි ප්‍රවණතාවයක් තිබනෙවා.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සෑම දරුවන් හයදෙනෙකුගෙන් එක්කෙනෙක් වර්ධන ඌනතාවයන්ගෙන් පෙළෙන බව කියනවා. වතුකරයේ ගත්තොත් තුන්දෙනකුගෙන් එක් අයෙක් වර්ධන ඌනතාවයන්ගෙන් පෙළෙනවා. අම්මලාට දරුවන්ට කන්න දෙන්න විදිහක් නැහැ. බඩු මිල අහස උසට ගිහින්. කුස පොත්ත පිට පොත්තට ඇලිලා. ඒත් වියදම් වැඩිකර ගෙන තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයට. මේ අයවැය කිසිසේත්ම ජනතාවාදී අයවැයක් නොවෙයි. මෙය කාන්තාවන්ගේ හා ළමුන්ගේ සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරන අයවැයක් නොවෙයි. එය පාලකයන්ගේ සුඛවිහරණය වෙනුවෙන් හදපු අයවැයක්. එමනිසා අපි ජනතාවට කියනවා, ඔබ වෙනුවෙන් හදන, කාන්තාවන්, දරුවන් වෙනුවෙන් හදන අයවැයක් ගෙන ඒම සඳහා ඔබ වහාම රටේ සම්පත් බේරා ගැනීමට පෙළගැසිය යුතුයි.”

තමන් විඳින දුකට ජනතාව දවසක ආණ්ඩුවෙන් වන්දි ගනීවි

ක්‍රිෂ්ණා – අයිතීන් උදෙසා කාන්තාවෝ සාමාජිකා

“මම වතු කම්කරු කාන්තාවන් නියෝජනය කරමින් අදහස් දක්වන්න කැමතියි. මේ වන විට වතු කම්කරු ජනතාව ඉතාමත් පීඩාවට පත්වී සිටිනවා. ඔවුන්ට ආහාර සහ ඇඳීමට, දරුවන් පාසල් යැවීමට අපහසු වී තිබෙනවා. ඔවුන්ගේ දරුවන් එකිනෙකට නොගැලපෙන ඉල්ලා ගත් සපත්තු දමාගෙන පාසල් යාමට සිදුවී තිබෙනවා. ඔවුන්ට පාසල්වලදී විශාල පීඩාවකට ලක්වෙන්ට සිදුවෙලා. බලධාරීන්ට මේ ගැටලු පිළිබඳ කිසිදු හැඟීමක් නැහැ. ආණ්ඩුව විසින් වහාම බඩු මිල අඩුකර මේ ජනතාවට සහන සැලසිය යුතුයි. මෙවැනි තත්වයක් තුළ ජනතාවට පාරට බැසීමට සිදුවෙනවා. පාලකයන් වතු කම්කරු ජනතාව හැමදාම රැවැට්ටුවා. මේ ජනතාව විඳින දුකට කවදා හරි දවසක ආණ්ඩුට වන්දි ගෙවන්න සිදුවෙනවා.”

අයවැයෙන් සන්නාලියන්ට ලැබී තිබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ලක්

ධම්මිකා සෝමරත්න – අයිතීන් උදෙසා කාන්තාවෝ සාමාජිකා

“කටුනායක බියගම වෙළඳ කලාපයේ ඇඟලුම් ක්ෂේත්‍රයේ කාන්තාවන් නියෝජනය කරමින් අදහස් ප්‍රකාශ කරන්න කැමතියි. මෙම අයවැය මගින් ඇඟලුම් ක්ෂේත්‍රයේත් පොදුවේ පෞද්ගලික අංශයේත් වැඩකරන ජනතාව වෙනුවෙන් කිසිදු සහනයක් ලබා දී නැහැ. අපි කොරෝනා උවදුර මධ්‍යයේ ජීවිත අවදානමක් අරගෙන රැකියාවේ නියුක්ත වුණා. සැනිටයිසර්, මාස්ක් වැනි ආරක්ෂක උපාංග ඉල්ලා ගනිමින් ඇඟලුම් කර්මාන්තය මගින් ලංකාවට ඩොලර් ගෙන ඒමට අපි කැපවුණා. එහෙත් කියන්න කනගාටුයි කම්කරුවන්ට ඇඟලුම් ක්ෂේත්‍රයේ සන්නාලියන්ට ලැබී තිබෙන්නේ කුඩම්මාගේ සැලකිලි. ඔවුන් සපයන සේවයට වටිනාකමක් ධෛර්යයක් ආණ්ඩුව අසමත් වී තිබෙනවා. කුකුල් කූඩු වැනි බෝඩිං කාමරවල සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් අහිමිව, නින්දක් නොමැතිව දිවා රාත්‍රී වෙහෙසෙමින් පැය 12, 16 වැඩකරන ඇඟලුම් සේවිකාවන්ට කිසිදු සහනයක් ලැබී නැහැ. මේ නිසා මේ අයවැයට අපි දැඩි විරෝධය පළ කර සිටිනවා. මේ අයවැයට විරෝධය පෑම සඳහා ඔවුන් පෙළ ගැස්වීමට කටයුතු කරනවා. ඉහළ ගිය බඩු මිලට ඔරොත්තු දීම සඳහා වැටුප් වැඩිවීමක් ලැබී නැහැ. කම්කරුවෙකුගේ වැටුව රු:16000/-ත් 17000/- පමණ වෙනවා. අමතර මුදලක් සොයා ගැනීමට අතිරේක වැඩ කිරීමට සිදුවී තිබෙනවා. එහි තේරුම ඔවුන්ගේ දරුවන් අනාරක්ෂිතභාවයකට ඇද දමනවා කියන එකයි. ප්‍රමාණවත් නින්දක් නොලබනවා කියන එකයි. විශාල පිරිසක් සේවයට පැමිණෙන්නේ ප්‍රවාහන පහසුකම් ආයතනවලින් ලබා නොදෙන තත්වයක් තුළයි. ඔවුන්ට රක්ෂණ ආවරණයක් නැහැ. ඔවුන්ට හදිසි සැත්කමකට පෞද්ගලික රෝහලකට ඇතුළත් විය නොහැකියි. එයට අවශ්‍ය වෙන මුදල සොයා ගැනීමට නොහැකියි. මේ අයවැයට අපි අපේ විරෝධය පළ කර සිටිනවා. අපි ජනතාව ඉදිරියට ගොස් ඔවුන් දැනුවත් කරමින් මේ සඳහා විරෝධය පෑමට ඔවුන් පෙළ ගැස්වීමට කටයුතු කරනවා.”

පීඩාවට පත් ජනතාව ආණ්ඩුවේ තීරණ මහ පාරේදී ආපසු හරවාවි

සරෝජා පෝල් රාජ් – සභාපතිනි, අයිතීන් උදෙසා කාන්තාවෝ

“අපි මේ සාකච්ඡාව පවත්වන්න සූදානම් කළේ 2022 වසර සඳහා වූ අයවැය මේ දිනවල පාර්ලිමේන්තුවේ සාකච්ඡා කෙරෙමින් පවතින අවස්ථාවක. මේ අයවැය මේ වන විට වැඩි ඡන්දයෙන් සම්මත වෙලා තිබෙන්නේ. තුනෙන් දෙකේ බලය තිබෙන පාර්ලිමේන්තුවක මෙවැනි අයවැයක් සම්මත වෙනවා. ඒත් ජනතාවගේ හදවතේ අයවැය සම්මත කරන්න ලැබෙන්නේ නැහැ. ඒ මෙය ජනතාවාදී අයවැයක් නොවන නිසයි. මේ අයවැය ජනතාවට ඉදිරි වසර සඳහා කිසිදු බලාපොරොත්තුවක් ලබා නොදින් අයවැයක්. ඉහළ යන බඩු මිල, භාණ්ඩ හිඟය, ඩොලර් හිඟය, අත්‍යාවශ්‍ය ඖෂධ හිඟය ආදී කරුණුවලට මේ අයවැයෙන් විසඳුම් නැහැ. ජනතාවගේ දෛනික ආදායම් ඉහළ නංවා ගත හැකි යෝජනා මේ අයවැය තුළ නැහැ. ආණ්ඩුව ජනතාව පිළිබඳ වගකීමෙන් බැහැර වෙලා. රටේ උපදින ධනය, රටේම මිනිසුන් දුක් විඳ උපයන මුදල, එක් පවුලක වියදම වෙනුවෙන් වෙන්කර ගෙන තිබෙනවා. අපි මෙම තත්වයට දැඩිලෙස විරෝධය පළ කරනවා. මෙය සියලු ජනතාවට සාධාරණයක් ඉටුවන අයවැයක් විය යුතුව තිබුණා. නමුත් එය එසේ වී නැහැ. ඊයේ, පෙරේදා වන විට පාන් පිටි මිල රුපියල් 17/-කට වැඩි මුදලකින් ඉහළ නැංගා. පාන් ගෙඩියක මිල රු: 10/-කින් ඉහළ ගියා. සියලු බේකරි කෑම මිල ඉහළ ගියා. වතුකරයේ ජනතාවට මේ පිටි මිල ඉහළ යෑම නිසා බලවත් පීඩාවක් ඇතිවී තිබෙනවා. නාගරික ප්‍රජාවටත් පාසල් ළමුන්ටත් මෙයින් විශාල බලපෑවක් සිදුවෙනවා. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල සෑහෙන ලෙස මිල ඉහළ ගියා. දෛනිකව රුපියල් 1000/- උපයා ගැනීමට නොහැකි විශාල ජනතාවක් සිටිනවා. මාසික වැටුප් ලබන සේවක සේවිකාවන්ටත් ඔවුන්ගේ වැටුපෙන් මාසයක් ජීවත් වෙන්න බැහැ. ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියන විදියට හතර දෙනෙකුගෙන් යුතු පවුලකට රුපියල් 75601/-ක ආදායමක් තිබිය යුතුයි. රුපියල් 25000/- මාසික වැටුප් ලබන ඇඟලුම් සේවිකාවක් මේ වියදම පියවා ගන්නේ කොහොමද? ඔවුන්ගේ දරුවන් නඩත්තු කරන්නේ කොහොමද? වතු කම්කරුවන්ට රුපියල් 1000/-ක් දෙන බවට ආණ්ඩුව පොරොන්දු වුනත් ඒ සඳහා කිලෝ විස්සකට වැඩියෙන් දළු නෙළිය යුතු වෙනවා. නමුත් පොහොර හිඟය නිසා දළු නොමැති වීමෙන් ඔවුන් කිසිවෙකුට මේ ඉලක්කයට ළඟා විය නොහැකිව තිබෙනවා. එමනිසා කිලෝ විස්සක් ඔවුන්ට නෙළීමට නොහැකි වී තිබෙනවා. කෙසේ වුවත් ජනාධිපතිවරයාගේ කාර්යාලය නඩත්තු කිරීමට පමණක් මිලියන 409ක් වෙන්කර තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලය නඩත්තු කිරීමට මිලියන 941ක් වෙන්කර තිබෙනවා. ඒ, කාන්තාවන් හා ළමුන් වෙනුවෙන් වෙන්කළ මිලියන 200නුත් 100ක් කපාහැර තිබියදී.

කාන්තාවන්ට සෘජුවම බලපාන ප්‍රශ්නයක් වන ගෘහස්ථ ගෑස් සිලින්ඩර් පුපුරා යාම ගැන ආණ්ඩුව අද වෙනතෙක් කිසිදු ප්‍රකාශයක් කර නැහැ. මේ ගෑස් සිලින්ඩර්වල හෝ ගෑස්වල දෝෂයක් තිබෙනවාද යන්න පිළිබඳව පැහැදිලි කිරීමක් කිරීමට රජය අපොහොසත් වෙලා තිබෙනවා. මෙය තවත් කොමිස් ගනුදෙනුවක් වෙනුවෙන් සිදුකරන ක්‍රියාවක්දැයි අපට සැක මතුවෙනවා. අද ආණ්ඩුව තමන්ගේම මන්ත්‍රීවරියන් පාවිච්චි කරමින් කංසා නීතිගත කළයුතු බවටත් ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු බවටත් කියන කතා ඇහෙන්නට තිබෙනවා. ජනතාවට සහන දෙන්න බැරිවුණු සමාගම්වල අල්ලේ නැටවෙන ආණ්ඩුව ජනතාවගේ ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් දෙන්න හදන්නේ මෙහෙමද? ජීවත් වීමේ අවම අයිතියවත් ලබාදෙන්න බැරි තැනක ලිංගික ශ්‍රමිකයාගේ වෘත්තිය නීතිගත කරනවා කියන්නේ ආණ්ඩුව එයින් ආදායම උපයා ගන්නා ලෙස කාන්තාවන්ට යෝජනා කරන තත්වයක් වෙනවා. ඒක හරියට ජීවිතයට බලාපොරොත්තුවක් දෙන්න බැරි රටක මරණය නීතිගත කරනවා වගේ වැඩක්. වෘත්තිය අයිතිය ලබාදිය යුත්තේ වෘත්තීය අභිමානයක් සමගයි. වෘත්තීය අභිමානය ආරක්‍ෂා කර ගැනීමේ අයිතිය සෑම කාන්තාවකටම තිබෙනවා. එම නිසා අභිමානවත් වෘත්තියක නියැලීමෙන් තමන්ගේ දැනුම, කුසලතා සමාජයට ලබා දිය හැකි ආර්ථික පසුබිමක් රටේ සෑම කෙනෙකුටම ලැබිය යුතුයි. පුද්ගලයා තමා කළ යුතු රැකියාව තෝරා ගත යුත්තේ ඉන් පසුවයි. දැන් තිබෙන්නේ ඒ සියලු තත්වයන් සැපිරීමට අපොහොසත් වුණු ආණ්ඩුවක් මේ රටේ කාන්තාවන්ට විකල්පයක් ලෙස ගණිකා වෘත්තිය තෝරා ගන්නා ලෙස බල කිරීමයි. රටේ මහජන සම්පත් විකුණා දමමින් සිටින, කෘෂිකර්මාන්තය විනාශ කළ ආණ්ඩුව කංසා වගාව නීතිගත කළ යුතු යැයි යෝජනා කරනවා. මෙම වැඩිබැරි දාසගේ ආණ්ඩුව තමන්ට විකල්ප නැතිවෙනකොට තෝරා ගන්නා පාරවල්. මේවා ප්‍රායෝගික දේ නෙවෙයි. මේ සුරංගනා කතාවලින් මේ රටේ ආර්ථිකය ගොඩගන්න බැහැ. දැක්මක්, වැඩපිළිවෙළක්, ක්‍රියාමාර්ගයක් නැති මේ ආණ්ඩුව කෙසේ හෝ මේ අයවැය පාර්ලිමේන්තුව තුළ සම්මත කරගත්තත් මේ අත්තනෝමතික ගමන් මාර්ගය පරාජය කිරීමට ජනතාව මහ පාරේදී කටයුතු කරනු ඇති. තමන්ගේ පීඩාවන් තවදුරටත් ඉහිලිය නොහැකි ජනතාව මේ තීරණ මහ පාරේදී ආපසු හැරවීමට කටයුතු කරන බව අපට විශ්වාසයි.”

Facebook
Twitter
LinkedIn