මහින්ද රාජපක්ෂ මහතාගේ මංගල ජනාධිපතිවරණ රැලිය පැවැත්වීමට යැයි කියමින් අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේ කළුගල් අතුරා ගල් රෝල් යොදා තලමින් නවීකරණය කිරීම පිළිබඳව එම ප්‍රදේශයේ සියළුම ක්‍රීඩා සංගම් බලවත් විරෝධය පළකර ඇත.
පෞද්ගලික දුරකතන සමාගමක් විසින් රුපියල් ලක්ෂ දෙසීය හැට අටක් වියදම් කරමින් මෑතකදී නවීකරණය කරන ලද මෙම ක්‍රීඩා පිටිය දැන් රුපියල් කෝටියකට අධික වියදමක් දරමින් එම රැලිය වෙනුවෙන් සකස් කරනු ලබන්නේ ජනාධිපති උපදේශකයන්ගේ නියෝගය මත උතුරු මැද ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් මහතා බව අනාවරණය වේ.
පාපන්දු, ක්‍රිකට්, එල්ලේ සහ මලල ක්‍රීඩා පැවැත්වීමට තිබෙන ප්‍රධානම ක්‍රීඩාංගනය මෙය වේ. ජනාධිපතිවරයාගේ රැලිය පැවැත්වීම සඳහා පමණක් සිදු කරනු ලබන ක්‍රියාවෙන් පසුව කිසිදු ක්‍රීඩාවකට මෙය භාවිතා කළ නොහැකි වේ. මෙසේ තිබියදී ක්‍රීඩා භූමිය විනාශ කිරීම පිළිබඳව පළාතේ ජනතාවගේද බලවත් විරෝධයද එල්ල වෙමින් තිබේ.
පළාතේ ජනතාව ප්‍රකාශ කරන්නේ දැනට මාස කිහිපයකට පෙර සිට ඡන්ද ප්රචාරක ව්‍යාපාරය ආරම්භ කර තිබෙන මහින්ද රාජපක්ෂ මහතාගේ මංගල ප්රචාරක රැලිය වශයෙන් මෙය හැදින්වීමද හාස්‍යයට කරුණක් බවය. ” පොදු අපේක්ෂකයා කෝ ” ” ෂැඩෝ බොක්සිං තරගයක යෙදීමට සිදුවෙලා තිබෙනවා” ආදී වශයෙන් ජනාධිපතිවරයා පුරසාරම් දෙඩූ බවද ප්‍රදේශවාසීන් පවසති.
ආණ්ඩුවේ විවිධ ප්රචාරක වැඩ සඳහා රට පුරා තිබෙන ක්‍රීඩාපිටි යොදා ගැනීම නිසා ඒ සියල්ල අබලන් කර දමා ඇති බව වාර්තා වේ. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ආණ්ඩුවේ ප්රචාරක සැණකෙළියක් සඳහා යොදාගැනීමෙන් දැඩිලෙස විනාශ කර තිබීම ප්‍රධානම නිදර්ශනය වේ.











