අභිරහස් මුද්‍රණ යන්ත්‍රය වැලිසරින් ත්‍රිකුණාමලයට

වැලිසර නාවික හමුදා කඳවුරට ඉතා හදිසියේ ගෙන්වන ලද අති නවීන මුද්‍රණ යන්ත්‍රයක් පිළිබඳව තොරතුරු හෙළිවීමත් සමග අද (03) රාත්‍රියේ එය හදිසියේම ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට ගෙන යාමට සූදානම් වන බව අනාවරණය වේ.

එහෙත් නාවික හමුදා ආරංචි මාර්ග සඳහන් කරන්නේ එම යන්ත්‍රය ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට ගෙන යාමට සූදානම් බව ඒ පිළිබඳ විමසිල්ලෙන් පසුවන පාර්ශව වෙත ඇඟවෙන පරිදි ක්‍රියා කර වෙනත් රහසිගත තැනකට ගෙන යාමට ඉඩ ඇති බවය.

මෙම මුද්‍රණ යන්ත්‍රය වැලිසර නාවික හමුදා කඳවුර තුළ ස්ථාපිත කිරීම සහ ආරක්ෂාව සැපයීම සඳහා තෝරාගත් භට පිරිසක් යොදා සිටි බවද එය ස්ථාපිත කළ පසු ජනාධිපති ආරක්ෂක අංශයේ විශේෂ ආරක්ෂාව යටතේ තැබීමට සැළසුම් කර තිබූ බවද වැඩිදුරටත් අනාවරණය වේ. මෙය සෘජුවම සේනාධිනායකයාගේ මැදිහත් වීම මත දියත් කරන ලද මෙහෙයුමක් බව තහවුරු වී ඇත.

නාවික හමුදාව තුළින් අභිරහස් මුද්‍රණ යන්ත්‍රය පිළිබඳව කිසියම් ප්‍රමාණයක විරෝධයක් එල්ල වී ඇති බවද අනාවරණය වේ. තතුදත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම මුද්‍රණ යන්ත්‍රයෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ හැකි බවය.

Facebook
Twitter
LinkedIn