ජනාධිපති, මුදල් ඇමති එයාලගේ රට වෙනුවෙන් අපේ රටේ සම්පත් බිලිදෙනවා – හඳුන්නෙත්ති

ජනාධිපති, මුදල් ඇමති එයාලගේ රට වෙනුවෙන් අපේ රටේ සම්පත් බිලිදෙනවා – හඳුන්නෙත්ති

රටේ ජනාධිපතිවරයා සහ මුදල් ඇමතිවරයා තමන් පුරවැසියන් වන ඇමෙරිකාවේ උවමනාවන් වෙනුවෙන් මෙරට සම්පත් බිලිදෙමින් සිටින බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි.

කෙරවලපිටිය LNG විදුලි බලාගාරයේ කොටස් සහ ගෑස් සැපයුම අයිතිය ඇමරිකානු සමාගමක් වෙත පැවරීමේ ගිවිසුමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් අද (26) උපරිමාධිකරණය වෙත පෙත්සමක් බාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති සහ ජවිපෙ මධ්‍යමකාරක සභික වසන්ත සමරසිංහ මෙම පෙත්සමේ පෙත්සම්කරුවන් ලෙස පෙනී සීටී. ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ කෙරවලපිටිය බලාගාරයේ කොටස් 40%ක් සහ මෙරට ගෑස් සැපයීමේ ඒකාධිකාරය ඇමෙරිකාවේ නිව් පෝට්‍රස් සමාගමට පැවරීම සඳහා අත්සන් කර ඇති ගිවිසුම නීති විරෝධී බැවින් එම ගිවිසුම අවලංගු කිරීමට රීට් ආඥාවක් නිකුත් කරන ලෙසයි.

එහිදී  සුනිල් හඳුන්නෙත්ති මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දක්වමින්…. “අද මේ ගිවිසුම ගැන කවුරුවත් දන්නේ නෑ. පාර්ලිමේන්තුව දැකලා නෑ. ඇමති මණ්ඩලය දන්නේ නෑ. අධිකරණය දැකලත් නෑ. විෂය භාර ඇමතිවරයාත් විරෝධය දක්වලා තියෙනවා. ඒ නිසා රටේ ජනතාවට ‍මේ ගිවිසුම ගැන ඇත්ත දැනගැනීමේ අයිතිය තියෙනවා. පාර්ලිමේන්තුවටත් හොරා, ආණ්ඩුවේම ඇමති මණ්ඩලයටත් හොරා, අධිකරණයටත් හොරා අත්සන් කරපු මේ ගිවිසුම අහෝසි කරන්න කියලා අපි ගරු අධිකරණයෙන් ඉල්ලනවා. ජනාධිපතිවරයා ඇමෙරිකන් පුරවැසියෙක් නම්. මුදල් ඇමතිවරයා ඇමෙරිකන් පුරවැසියෙක් නම් ඔවුන් කටයුතු කරන්නේ ඔවුන්ගේ රට වෙනුවෙන්. ඔවුන්ගේ රට වෙනුවෙන් අපේ රටේ අනාගත මතු පරම්පරා ගණනාවකට භුක්ති විඳින්න තියෙන සම්පත් මේ ආකාරයෙන් විනාශ කරන්න දෙන්න අපට අයිතියක් නැහැ” යනුවෙන් පැවසීය.

මෙම අවස්ථාවට ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික නීතිඥ සුනිල් වටගල යන අයද එක්ව සිටියහ.

Facebook
Twitter
LinkedIn