චීනයේ Qingdao සමාගමින් ගෙන්වීමට සූදානම් වූ කාබනික පොහොර අලුත් සහතිකයක් යටතේ මෙරටට ගෙන්වීමේ සූදානමක් ඇත්දැයි සැකයක් මතුව ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ප්රකාශ කරයි.
අදාළ පොහොර මෙරට පසට හා වගාවන්ට නුසුදුසු අහිතකර බැක්ටීරියා සහිත පොහොර බවට තහවුරු වී තිබියදී කෝටි ගාණක් වියදම් කොට එම පොහොර නෞකාව මුහුදු සීමාවේ රඳවා ඇත්තේ ඇයි දැයි එම සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න ප්රශ්න කරයි.
මෙම පොහොර ලංකාවට භාර නොගන්නේ නම් ඒ බව රටේ බලධාරීන් නොදන්නේ ද? නැතිනම් මේ සම්බන්ධව රඟපෑමක් කරන්නේ ද? යන්න ගැටලුවක් බවත් දැනට එම පොහොර නෞකාව මලක්කාව මුහුදු සීමාවේ රඳවා ඇති බවත් කරුණාරත්න මහතා පෙන්වා දෙයි.
විශේෂයෙන්ම මෙවැනි නෞකා ඒ ඒ අදාළ මුහුදු සීමාවන්හි රඳවා තැබීම තුළ නැව් සමාගම් අදාළ ගාස්තු පියවිය යුතු අතර ඒ ඒ සමාගම්වල ගාස්තු වෙනස් බවත් මෙලෙස එම පොහොර නෞකාව ප්රතික්ෂේප නොකරන්නේ එහි සහතික වෙනස් කොට මෙරටට ගෙන්වීමටදැයි යන්න සැක සහිත බවත් හෙතෙම වැඩිදුරටත් පවසයි.
අනුරාධා හේරත් – මව්බිම










