ගම්මන්පිල රෝහල් ගතවීම ඇත්තක්ද?

ජතික හෙළ උරුමය පක්ෂය ආණ්ඩුවේ සිටිනවාද නැතිද යන්න පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් ඊයේ (17) පැවති අතර එයට හෙළ උරුමය පක්ෂයේ නියෝජ්‍ය නායක බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සහභාගී නොවීය. ඒ මහතාට හදිසියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් රෝහල්ගත විම නිසා එම තීරණාත්මක මධ්‍යම කාරක සභා සාකච්ඡාවට සහභාගී වීමට නොහැකි වී තිබේ.

හෙළ උරුමය පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනවලිය ආණ්ඩුව ප්‍රතික්ෂේප කරමින් පසුගියදා එය ලිඛිතව දන්වා තිබූ අතර ඒ පිළිබඳව සාකච්ඡා කර ඇති හෙළ උරුමයේ දේශපාලන මණ්ඩලය ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

එම තීරණයට විරුද්ධ වී ඇති උදය ගම්මන්පිල ඇමතිවරයා තමන් ඉදිරියටත් ආණ්ඩුව සමග කටයුතු කරන බව ප්‍රකාශ කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. හෙළ උරුමයේ තීරණාත්මක සාකච්ඡාව මඟ හැරීමට උපක්‍රමයක් ලෙස ඔහු හදිසියේ අසනීප වූ බව පවසමින් රෝහල් ගතවූ බව එම පක්ෂයේ ආරංචි මාර්ග අනාවරණය කරයි.

මීට පෙරද අවස්ථා කිහිපයකදී උදය ගම්මන්පිල ඇමතිවරයා හෙළ උරුමයෙන් ඉවත් වි ශ්‍රිලනිපයේ සාමාජිකත්වය ගැනීමට සූදානමින් සිටී බවද ඔහුට මහරගම ආසනයේ සංවිධායක ධූරය ලබා දීමේ සූදානමක් පැවති බවද වාර්තා විය. හෙළ උරුමය පක්ෂය අද (18) පැවැත්වෙන මාධ්‍ය සකච්ඡාවේදී ආණ්ඩුවෙන් ඉවත් වන බව ප්‍රකාශ කරනු ලැබුවහොත් උදය ගම්මන්පිල ඇමතිවරයා ශ්‍රිලනිපය සාමාජිකත්වය ගනු ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn