මහින්ද පටලවාගෙන

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තමාට තුන් වෙනි වරටත් පදවියට තරඟ කළ හැකිද යන ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කිරීම මගින් බලය අයුතු ලෙස පාවිච්චි කර ඇතැයිද ඔහු අයිතිවාසිකම් සහ නුසුදුසුකම් පටලවා ගෙන ඇතැයිද හිටපු අග විනිසුරු සරත්.එන්.ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 (1) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමක් කිරීමට හැකියාවක් ඇත්තේ පොදු වැදගත්කමක් ඇති නීතිමය ප්‍රශ්න පිළිබඳව පමණක් බවත් මෙම විමසීම මහින්ද රාජපක්ෂ නමැති පුද්ගලයාගේ පෞද්ගලික කාරණයක් මිස ජාතික වැදගත් කමක් සහිත කාරණයක් නොවන බව ඔහු පවසයි.

“මෙය පුද්ගල කේන්ද්‍ර ගත ප්‍රශ්නයක්. නුසුදුස්සෙකු වන්නේ ජනාධිපතිවරයා නොවෙයි පුද්ගලයායි,” යනුවෙන් සරත් නන්ද සිල්වා මහතා පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31.2 සහ 31 යන වගන්ති යටතේ, තුන්වැනි වතාවටත් ජනාධිපති ධුරය දැරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නුසුදුස්සෙකු වී ඇති බවට වූ තර්කය පළමුවෙන්ම ගෙන එනු ලැබූවේ හිටපු අග විසිනිසුරුවරයාය.

ජනාධිපතිවරයා ගත් මෙම ක්‍රියාමාර්ගය හේතුවෙන් නීතිමය ක්‍රියා මාර්ගයක් ගැනීමට ඇති ඉඩ කඩ පවා අහුරා දමා ඇති බවයි ඔහු පවසයි.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙය නීතිඥ සංගමයට යොමු කරමින් ඒ පිළිබඳව හත් වැනිදාට ප්‍රථම ඔවුන්ගේ අදහස් ඇතුළත් ලිඛිත සන්දේශයක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියත් අද (06) බ්‍රහස්පතින්දා නිවාඩු දිනයක් නිසා ඔවුන්ට ලැබී ඇත්තේ ඉතා කෙටි කාලයක් බවත් එසේ සිදුකළ ඉල්ලීමෙන් අදහස් කරන්නේ නීතිඥ සංගමයට කරුණු ඉදිරිපත් කිරීමට ඉඩ ලබා දුන් බව කියා පෑම පමණක් බව ඔහු තවදුරටත් ප්‍රකාශ කරයි.

Facebook
Twitter
LinkedIn