ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වනවිට අන්ත බංකොලොත් තත්වයට පත්වීමේ ප්රධාන හේතු තුනක් හඳුනාගෙන ඇති අතර ඒ අතරින් එකක් වී තිබෙන්නේ කබ්රාල් ඇමතිවරයා මහ බැංකු අධිපති ලෙස සිටියදී අත්සන් කරන ලද හෙජින් ගිවිසුම බව අනාවරණය වේ.
මෙම තොරතුරු හෙළිවන්නේ එම සංස්ථාවේ 2019 වාර්ෂික වාර්තාවට විගණකාධිපතිවරයා එක්කර තිබෙන නිගමන වලින්ය. ඩොලරය හමුවේ රුපියල කඩා වැටීම, නුසුදුසු මිල ප්රතිපත්තිය සහ හෙජින් ගනුදෙනුව හා සම්බන්ධ වියදම් යනුවෙන් එම කරුණු තුන දක්වා තිබේ. මේ වන විට ඛනිජ තෙල් සංස්ථාවේ ශුද්ධ වත්කම් ප්රමාණය ඍණ රුපියල් කෝටි 29321ක් බව විගණකාධිපතිවරයා පෙන්වා දී තිබේ.
ඔහු තවදුරටත් සඳහන් කර තිබෙන්නේ 2007 සිට 2009 වසර දක්වා තෙල් ප්රසම්පාදනය සඳහා හෙජින් ගිවිසුම අත්සන් කිරීමෙන් 2019 දෙසැම්බර් 31 වැනි දිනට රුපියල් මිලියන 14028ක අලාභයක් සිදුවී තිබෙන බවය. එසේම ඇමරිකන් ඩොලර් 8648300ක වන්දි මුදලක් ඉල්ලා කොමර්ෂල් බැංකුව කොළඹ වාණිජ මහාධිකරණයේ නඩු පවරා ඇති බවද මහජන බැංකුවට සිදුවී ඇති හෙජින් පාඩුව වෙනුවෙන් ඩොලර් මිලියන 27.8ක මුදලක් සහ ඊට අදාළ පොලියද ගෙවිය යුතු බව විගණකාධිපති සටහනේ දැක්වේ.
මේ අනුව අර්ජුන් මහේන්ද්රන් මහ බැංකු අධිපතිව සිටියදී බැඳුම්කර කොල්ලය හරහා සිදුකරන ලද මූල්ය අපරාධය මෙන් කිහිප ගුණයක මූල්ය අපරාධයක් හෙජින් ගිවිසුම හරහා සිදුකර ඇති බව තහවුරු වේ.










