මියාමියේ නගරාධිපති Francis Suarez ජුලි 22 වැනිදා ඉල්ලා සිටියේ පැනමාවේ නොරීගා රජය පෙරලා දැමු ආකාරයට කියුබානු සමාජවාදී රජය ඇමරිකානු හමුදාව යොදා පෙරලා දමන ලෙසයි. ඇෆ්ගනිස්ථාන යුද්ධයෙන් බරපතළ තුවාල ලැබූ හා කොරෝනාවෙන්ද පිඩා විඳින ජෝ බයිඩන් පාලනයට රුසියාව, චීනය හා කලාපයේ විප්ලවවාදී ව්‍යාපාර සමග පෙරමුණු රාශියක සටන් වැදීමට මේ වනවිට ශක්තියක් නොමැත. කියුබාවේ ප්‍රතිවිප්ලවාදින්ට උදව් කිරීමට ගොස් හත්පොලේ ගා ගත් බයිඩන් පාලනය අවසානයේදී ප්‍රකාශ කලේ එන්නත්, සෞඛ්‍ය හා අනෙකුත් සහනාධාර කියුබානු රජයේ මැදිහත්වීමකින් තොරව ලබා දීමට සුදානම් බවය. කෙස්වෙතත් මෙම මැදිහත්වීම් හා පනවා ඇති ආර්ථික සම්බාධක හෙලා දකිමින් ඇමරිකානු බහුජන සංවිධාන එක්වී එන්නත් කිරීමට අවශ්‍ය සිරිංජර් මිලියන 1.7ක් කියුබානු රජයට ලබා දී ඇත. ඒ අතර රුසියාව හා මෙක්සිකොවද ආහාර, සෞඛ්‍ය භාණ්ඩ, තෙල් ඇතුළු හදිසි ආධාර රැගත් ගුවන් යානා හා නැව් රාශියක් එරටට යවා ඇත.
කියුබාවේ අසාර්ථක “කැරැල්ලෙන්” පසුව බටහිර මාධ්‍ය පවසනුයේ 1959 විප්ලවය ආරක්ෂා කිරීම සඳහා මිලියනක ජනතාවක් පාරට බැස්සවීමට කියුබානු කොමියුනිස්ට් පක්ෂයට ඇති හැකියාව විශ්මය ජනක බවයි. එම ශක්තියට මුහුණ දීමට හැකියාව ඇති දැවැන්ත සන්නද්ධ ව්‍යාපාරයක් නොමැතිව කියුබානු රජය පෙරලා දැමීමට මෙහෙයුම් දියත් කිරීම සිහිනයක් බවයි ඔවුන් දැන් ප්‍රකාශ කර සිටින්නේ. එවැනි ගැටුම්කාරී තත්වයක් ඇතිවුවහොත් මේ වනවිට ඉතා වේගයෙන් හිස ඔසවන වාමාංශික ව්‍යාපාර ශක්තිමත් වී හා ඒවාට රුසියානු-චීන සහය ලැබී සමස්ථ දකුණු ඇමරිකානු කලාපය තුලම සමාජවාදී රාජ්‍යයන් බිහිවීම නතර කල නොහැකි වනු ඇති බව ජාත්‍යන්තර යුධ විශේෂඥයින් ද පවසයි.
කෙසේ වෙතත් කියුබාව තුල හඹා ගිය මෙම උද්ඝෝෂණ රැල්ල සිදුවී පැය 24ක් යාමට පෙර කියුබානු රජය ඉතා වේගවත් ප්‍රතිසංස්කරණ රාශියක් ආර්ථික කේෂ්ත්‍රය තුල සිදුකරන ලදී. ගුවන් හා නැව් මගින් එරට අත්‍යවශ්‍ය ආහාර, සනීපාරක්ෂක භාණ්ඩ තීරු බදු අයකිරීමක් නොකර හා සීමාවක් නොමැතිව ගෙන්වා ගැනීමටත් අවසර ලබා දී ඇත. ඒ අතර කියුබාවේ රාජ්‍ය සෞඛ්‍ය ආයතනය (Cecmed)හඳුන්වාදුන් Abdala එන්නත මාත්‍රා තුනකින් පසුව 100% සාර්ථකත්වයක් පෙන්නුම් කරන බව ඇතැම් බටහිර මාධ්‍ය පවා සනාථ කර සිටියද තවමත් යුරෝපීය ඖෂධ මාෆියාව රුසියාව, චීනය, ඉරාණය හා කියුබාව නිෂ්පාදනය කල වැක්සීනවලට යුරෝපා සංගමයේ රටවලට ඇතුළුවීමට අවස්ථාව ලබා නොදෙමින් සිටී.
කියුබාව එන්නත් වර්ග 5ක් හඳුන්වාදී ඇත්තේ 1962 සිට පැනවූ සම්බාධක හේතුවෙන් ලෝක බැංකු ආධාර හෝ අන්තර් ජාතික මුල්‍ය අරමුදලේ කිසිදු සහයක් ලබා නොගනිමිනි. මෙම ජුලි මාසයේදී ඇවිලී ගිය උද්ඝෝෂණ රැල්ල නිර්මාණය වුයේද කියුබාවේ කොරෝනා රැල්ල ඉහල ගොස් ඇති බවත් තත්වය පාලනය කිරීමට එරට රජය අපොහොසත් යයි විශාල මාධ්‍ය ප්‍රචාරයක් ලොව පුරා සිදුවූ වාතාවරණයක් තුලය. අනෙකුත් රටවලට සාපේක්ෂව කියුබාවේ විශාල කොරෝනා වර්ධනයක් වාර්තා නොවීම තුලත්, එන්නත් වර්ග 5ක් ලෝකයට හඳුන්වා දුන් තත්වයක් තුල මෙම ප්‍රචාරය හා කියුබාව තුල අර්බුද නිර්මාණය වීම එරට එන්නත සමග ඇතිවුණු වෙළඳ තරඟයක ප්‍රතිපලයක්ද යන සැකය මේ වනවිට ජාත්‍යන්තර සෞඛ්‍ය කේෂ්ත්‍ර තුල කතාබහට ලක් වී ඇත. කෙසේ වෙතත් කියුබාවේ නිෂ්පාදනය කරනු ලබන එන්නත් මිලදී ගැනීම සඳහා මේ වනවිට වියට්නාමයද ඇතුළුව රටවල් 37ක් ඉදිරිපත් ව ඇත.
අවසානයේ දී කියුබාවේ ඇතිවූ අර්බුදකාරී තත්වය ලොව පුරා ජනතාවගේ සහය කියුබානු විප්ලවය ආරක්ෂා කිරීම සඳහා පෙළගැසීම යලි තීව්‍ර වී ඇත. ඒ අතර ඇමරිකාව තුලම කියුබානු විප්ලවය වෙනුවෙන් වූ සංවිධාන එන්නත් සඳහා අවශ්‍ය සිරිංජර් මිලියන 1.7ක් ලබා දී ඇති අතර තවත් සිරිංජර් මිලියන 4ක් මාස දෙකක් ඇතුලත ලබාදීමට නියමිතව ඇත. ඒ අතර රුසියාව An-124 ගුවන් යානා 2ක් යොදා ගනිමින් ඖෂධ, අත්‍යවශ්‍ය ආහාර, මාස්ක් මිලියනක් ඇතුළු සෞඛ්‍ය භාණ්ඩ ටොන් 88ක් හවානා නුවරට යවා ඇත. එසේම අසල්වැසි මෙක්සිකෝවද නැව් දෙකක් මගින් ආහාර, ඔක්සිජන්, තෙල් කියුබාවට ලබා දී ඇත. ඒ අතර ස්විස්ටර්ලන්ත ජනතාව විසින් එකතුකළ විශාල මුදලක් එරට බැංකු ඔස්සේ කියුබානු රජයට ලබාදීම ඇමරිකන් රක්ෂණ සමාගම් විසින් බාධා පමුණුවා ඇත. කියුබාව වෙත යාත්‍රා කරමින් තිබූ වෙනිසියුලා තෙල් රැගත් නැව් සමුහයකටද ඇමරිකන් නාවික හමුදා බාධාවන් එල්ල කර ඇත.
1989 දී සමාජවාදී කඳවුර බිඳ වැටුණු අවස්ථාවේ දී කියුබාවේ අභ්‍යන්තර දළ ජාතික නිෂ්පාදනයෙන් 72%(PIB)ක් එරටට අහිමි විය. මෙවරද කොරෝනා වසංගතය හමුවේ සංචාරක හා සීනි අපනයනය කඩා වැටීමෙන් 15%ක් පමණ අහිමි විණි. මෙම කඩා වැටීම් හමුවේ එදත් අදත් එරට ඇතිවූ උද්දමනය( 500%) නිසා භාණ්ඩ මිල ඉහල යාම හේතුවෙන් විශාල පෝලිම් රට පුරා ඇතිවී විශාල උද්ඝෝෂණ රැල්ලක්ද ඒ සමගම ඇතිවිය. ඇති වූ අර්බුදයන් යම් විග්‍රහයකට ලක් කරමින් රටේ පරිභෝජනය සඳහා අත්‍යවශ්‍ය ආහාර හා අනෙකුත් ද්‍රව්‍ය 70%ක් ගෙන්වීම විදේශ වෙළඳපල මත යැපීම වෙනුවට විකල්ප ආර්ථික ප්‍රතිසංස්කරණයක් රටට ඉදිරිපත් නොකළහොත් යලි යලිත් මෙම අර්බුද මීට වඩා ඉහල ධාරිතාවයකින් ඇතිවීම වැළැක්විය නොහැකි බව කියුබාවට හිතැති ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.









