වෙළද පොලේ ඇති ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක දක්වා ඇති නියමිත ධාරිතාවෙන් ගෑස් නොමැති වීම පිළිබඳව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් විමසීමේදී ඇමතිවරයා පවසා ඇත්තේ ගෑස්වල බර අඩුකරන්නේවත් මිල තීරණය කරන්නේවත් තමන් නොවන බවයි.
මෙරට අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන ගෑස් සැපයීම රාජ්‍ය සහ පෞද්ගලික අංශයට අයත් සමාගම් දෙකක් මගින් සපයයි. පසුගිය දිනවල එම සමාගම් ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීම සඳහා අවසර ඉල්ලමින් වෙළඳ පොළ තුළ ගෑස් හිඟයක්ද කෘතිමව ඇති කිරීමට කටයුතු කරනු ලැබුවත් සමාගම්වල ඉල්ලීම ප්‍රතික්ෂේප විය. එහෙත් මේ වනවිට ගෘහස්ත ගෑස් සිලින්ඩරයක තිබිය යුතු ධාරිතාව වෙනස් කිරීමට අදාළ සමාගම් කටයුතු කර ඇති බව වාර්තා වේ.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ” ගෑස් මිල තීරණය කිරීම පිළිබඳව අධිකාරිය ඇත්තේ පාරිභෝගික සේවා අධිකාරියට. ගෑස් මිල වැඩිකරලා තියෙනවා නම් පාරිභෝගික අධිකාරිය විෂය පිළිබඳ අමත්‍යවරයා ඒ් පිළිබඳව උත්තර දෙයි. මේක හොරෙන් කරලා තියෙන දෙයක් නෙමෙයි. ගෑස් මේ රටේ ජනතාවට තියෙන දෙයක්. ඒ්ක අදාළ සමාගම් විසින් පැහැදිලි කිරීමක් කරයි. මොනවා හරි හොරකමක් දූෂණයක් වංචාවක් තියෙනවා නම් මට කියන්න. මම ඒතකොට හොයන්නං” යනුවෙන් ගෑස් සිලින්ඩරයේ බර සහ මිල අතර ප්රශ්නය පිළිබඳව විමසීමේදී කියා සිටියා.
මේ වනවිට, ලිට්රෝ ගෑස් සමාගම විසින් පාරිභෝගික කටයුතු අධිකාරියේ අවසරයකින් තොරව කිලෝ ග්‍රෑම් 12.5ක් තිබිය යුතු ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නියමිත බර ලීටර් 18ක් ලෙස සටහන් කර ඇති අතර එය කිලෝ ප්‍රමාණය ගත් විට කිලෝ ග්‍රෑම් 9.18 දක්වා අඩු කිරීමකි. බස්නාහිර පළාත තුළ 12.5kgක ගෑස් සිලින්ඩරයක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 1493/= ක් වන අතර ඒ අනුව ගෑස් කිලෝ එකක මිල රුපියල් 119.44කි.
ලිට්රෝ සමාගම නවතම ක්‍රමවේදය අනුව ලීටර 18ක ගෑස් සිලින්ඩරයක මිල වන්නේ රුපියල් 1395/= කි. ( කිලෝ 9.18 කි ) ඒ අනුව ගෑස් කිලෝ එකක මිල වන්නේ 151.96කි.










