අබේරත්න කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම දෙවැනි කොමිසමෙන් පසුවයි – ජනපති අධිකරණයට කියයි

අබේරත්න කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම දෙවැනි කොමිසමෙන් පසුවයි – ජනපති අධිකරණයට කියයි

දේශපාලන පළිගැනීම පිළිබඳ උපාලි අබේරත්න ජනාධිපති විමර්ශන කොමිසන් සභා නිර්දේශවලට එරෙහිව ජවිපෙ නායක අනුර දිසානායක විසින් ගොනු කර තිබූ පෙත්සම පිළිබඳ කරුණු දක්වමින් ජනාධිපති වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අභියාචනාධිකරණයට අද (30) ප්‍රකාශ කර ඇත්තේ අබේරත්න කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම දෙවැනි කොමිසමේ නිර්දේශ ලබාගැනීමෙන් පසුව සිදුකරන බවයි.

මේ අනුව එම නඩුවේ කරුණු දැක්වීම මැයි 12 දක්වා කල් තබා තිබේ. ජවිපෙ නායක අනුර දිසානායක වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින්ට කරුණු දැක්වීම සඳහා අවස්ථාව අද ලබාදී තිබූ නමුත් ජනාධිපතිවරයාගේ මෙම තීරණය නිසා නැවත දිනයක් ලබාදීමට විනිසුරැවරයා තීරණය කොට තිබේ.

ජනාධිපතිවරයාගේ නීතිඥයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ උපාලි අබේරත්න කොමිසමේ නිර්දේශ තවදුරටත් සලකා බලන ලෙස නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පත්කළ දෙවැනි කොමිසමට උපදෙස් ලබාදී ඇති බවයි.

කෙසේ වෙතත් දෙවැනි කොමිසම පසුගිය ජනවාරි මස 29 වෙනිදා පත්කළ අතර එය මාස 03ක් දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය. එනම් ලබන අප්‍රේල් මස 29 වෙනි දින දක්වාය. කෙසේ වෙතත් මේ දක්වා දෙවැනි කොමිසම රැස්වී නොමැත.

Facebook
Twitter
LinkedIn