1969 දී සිදුවූ Oussouri දුපත සම්බන්ධයෙන් ඇවිලීගිය දේශසීමා යුද්ධයක් නිසා රුසියාව සමග උරණ වූ චීනය තම කිට්ටු මිතුරා ලෙස 1971 සිට තෝරාගනු ලබනුයේ ඇමරිකාවේ නික්සන් පාලනයයි. 1989 දී සෝවියට් කඳවුර බිඳ වැටුනද තම පාලනය රැක ගැනීමට සමත්වන චීනය ටියන්මෙන් චතුරශ්‍රයේ සිසුන්ට සහයදීම සම්බන්ධයෙන් චෝදනා කරනුයේ ඇමරිකාවටයි. එතැන් සිට ජාත්‍යන්තරයේ සිදුවන ඇමරිකන් මැදිහත් වීම්වලට ආරක්ෂක මණ්ඩලයේදී චීනයේ නිහඬවීම තුල ලොව පුරා මරමස්ථාන වල හමුදා කඳවුරු ස්ථාන ගත කිරීමට ඇමරිකාව සමත් වේ. එහෙත් රුසියාව විසින් 2008 දී ජෝර්ජියාව හා 2014 දී ක්‍රිමියා ආක්‍රමණය කරමින් ආරම්හ කල බටහිර විරෝධය සමගින් දිරිමත් වූ චීනයද නැවතත් තම නිෂේධ බලය යොදමින් ලෝකය තුල ඇමරිකාවේ චන්ඩියාගේ ප්‍රතිරූපය අවසන් කර දමනුයේ රුසියාව සමග සම්බන්ධකම් යලි ප්‍රතිස්ථාපනය කරගනිමිනි.
පසුගිය ට්‍රම්ප් පාලනය විසින් ක්‍රියාවට නංවන ලද චීන විරෝධී ආර්ථික යුද්ධය ඔහුගේ බලය නිමවීමෙන් පසුව අවසන්වනු ඇතැයි ලෝක ලිබරල් වෙළඳපල අපේක්ෂා කරනු ලැබීය. නමුත් බයිඩන් පාලනය විසින් කොරෝනා වසංගතයත් සමග ඇතිවී තිබෙන ආර්ථික අවපාතයෙන් මිදීම සඳහා ලොව එකම ආර්ථික වර්ධන වේගය (8%) දරා සිටින චීනයට එරෙහිව ට්‍රම්ප්ගේ ආර්ථික ආරක්ෂණවාදය යලි ක්‍රියාවට නැංවීමට තීරණය කර ඇත. එසේම මානව අයිතිවාසිකම්, ප්රජතන්ත්රවාදය වැනි කාරණා කරලියට ගෙන එමින් රුසියාවට හා චීනයට එරෙහිව බටහිර සමග එක්වී සම්බාධකද පනවමින් සිටි.
මෙම තත්වය මත චීන හා රුසියානු විදේශ අමාත්‍යවරුන් වන Wang Yi හා Sergueï Lavrov චීනයේ බිජිං නුවරදී මාර්තු 22දා හමුවනුයේ ස්ටාලින් හා මාවෝ 1950 පෙබරවාරි 14 වැනිදා අත්සන් කරනු ලැබූ මිත්‍ර ගිවිසුමට සමාන පෙරමුණකට අවශ්‍ය පුර්ව පරිසරයක් නිර්මාණය කරගැනීම ඉලක්ක කරගනිමිණි. ලෝක සාමය, ආර්ථික හා දේශපාලන ස්ථාවරභාවය ආරක්ෂා කරගැනීම සඳහා වහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂා මණ්ඩලයේ හදිසි සැසිවාරයක් කැඳවන ලෙස දෙරටේ නායකයින් ඉල්ලා ඇති බවද ඔවුන් මාධ්‍යයට හෙළිකර සිටියහ. ඇමරිකාව හා බටහිර විසින් ආර්ථික, යුධ හා තාක්ෂණික උපක්‍රම භාවිතා කරමින් ලෝකයේ අනෙකුත් රටවල අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීමද දෙරටේ අමාත්‍යවරුන් තරයේ හෙලාදකින ලදී.
එසේම රුසියානු විදේශ අමාත්‍ය Lavrov විසින් ලෝකය ඇමරිකන් ඩොලරයෙන් මුදවා ගැනීමට චීන යුවානය විදේශ වෙළඳපළේදී සිදුකරන ගණුදෙනු වලදී තම ආර්ථික මුල්‍ය ඒකකය ලෙස යොදාගැනීමේ තීරණය කර ඇතිබවට කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් බටහිර තුල යොමුවී තිබිණි. අන්තර්ජාතික මුල්‍ය අරමුදල(IMF)ද කොරෝනා වසංගතය නිසා ඇතිවී තිබෙන ලෝක ආර්ථික අවපාතයෙන් මුදා ගැනීමට හැක්කේ චීන ආර්ථිකයට පමණක් බවට කරන ලද ප්‍රකාශයත් සමග යුරෝපයේ රටවල්ද චීනය සමග සම්බන්ධතා පුළුල් කරගැනීමට උත්සහ දරමින් සිටිනුයේ ඇමරිකන් බලපෑම් මත රුසියානු sputnikV එන්නතද යුරෝපයේ තහනම් කරමිනි.
රුසියාව හා චීනය විසින් සිදුකරන ලද අන්තර් ජාතික වෙළඳ ගණුදෙනු වලදී ඩොලර් භාවිතා කිරීම 2015 දී 90% ක් වූ අතර එය 2021 වනවිට 46% දක්වා පහත දැමීමට දෙරට සමත් වී ඇත. එසේම රුසියාව විසින් රඳවාගෙන සිටි ඇමරිකන් මුල්‍ය කොටස් බහුතරයක් විකුණා දැමීමද ඇමරිකාවේ නොසතුටට හේතු වී ඇත. ඩොලරය ලෝකයේ මුල්‍ය ඒකකය ලෙස පිළිගැනීම අවසන් කිරීම කෙටි කාලයකින් සිදුකල හැකි ක්‍රියා පටිපාටියක් නොවේ. එහෙත් රුසියාවේ හා චීනයේ මෙම නව පෙරමුණ තුලින් ලෝකයේ අධිරාජ්‍ය විරෝධී දේශපාලන ව්‍යාපාරයන්ට හා රාජ්‍යයයන්ට යම් ශක්තියක් ලැබී ඇති බවට ඉඟියක් පළවනුයේ ඊයේ උතුරු කොරියාව විසින් balistics මිසයිල දෙකක ප්‍රහාරයක් ජපාන මුහුද ඉලක්ක කරමින් සිදු කිරීම විග්රහ කරබැලීමෙනි.










