භාග්‍යා අබේරත්න සොයා සාහිත්‍යවේදීන් ගිය ගමනක්…

භාග්‍යා අබේරත්න සොයා සාහිත්‍යවේදීන් ගිය ගමනක්…

පරිසරයට, ගහ කොළට, සතා සීපාවුන්ට ඇති අසීමත ආදරය වචනයෙන් මුදාහැරීම නිසා රාජ්‍ය උදහසට ලක්වී සිටින භාග්‍යා අබේරත්න තරුණිය හමුවීමට සම්මානනීය ගීපද රචකයින්, කවීන් රැසක් රක්වාන රඹුක පිහිටි ඇයගේ නිවසට ඊයේ (24) දිනයේ ගොස් තිබේ.

මෙම පිරිසට සම්මානනීය කිවිවරුන් වන ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ, නන්දන වීරසිංහ, රවී සිරිවර්ධන, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, ළහිරු කිතලගම හා ළහිරු කරුණාරත්න ඇතුළු නව පරපුරේ කවි කිවිඳියන් පිරිසක්ද එක්ව තිබේ. එම සියලුම කිවිවරුන් තමන් විසින් රචිත සාහිත්‍ය නිර්මාණ ඇතුළුව සාහිත්‍ය කෘතීන් සියයකට අධික ප්‍රමාණයක් භාග්‍යා අබේරත්න ශිෂ්‍යාවට පරිත්‍යාග කර ඇත.

සිංහරාජ ලෝක උරුම රක්ෂිතයේ සිදුවන වන සංහාරය පිළිබඳ කණ හරහා දැනෙන්නට ඇය සිය හඬ අවදි කරනු ලැබූවේ සිරස ලක්ෂපති වැඩසටහනට සහභාගී වෙමිනි. එම වැඩසටහනේදී ඇය වන සංහාරයට එරෙහිව සිය විරෝධය පළ කළේ ප්‍රවීණ කිවිවර නන්දන වීරසිංහයන්ගේ කවියකින් වන අතර ඇයගේ මාතෘකාවට ප්‍රවේශය දුන් ගීතය වූ “බිම්බරක් සෙනග” ගීතය ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහයන් අතින් ලියැවුණු ගීතයකි. ඇයට ධෛර්යයක් ලබා දීම වෙනුවෙන් ඒ විශිෂ්ඨ කවීන් දෙපළම මේ ගමනට එක්ව තිබේ.

මෙම ගමනට එක්වූ සාහිත්‍යවේදීන් ඇය සතු පරිසර සංවේදීතාව ඉහළින් ඇගයීමට ලක්කර තිබේ. විශේෂයෙන්ම පරිසර සංවේදීතාව තරුණ පරපුර තුළින් ඈත් කොට ඇති වකවානුවක තමා ජීවත්වන පරිසරය හා සතා සීපාවා කෙරෙහි භාග්‍යා දක්වන අව්‍යාජ උනන්දුව කවීන්ගේ ඉමහත් පැසසුමට ලක් ව ඇත. ඔවුන් සඳහන් කළේ මහපොළොවට ආදරය කරන සහ සාමූහික සමාජ අභිලාශයන් වෙනුවෙන් පෙනී සිටින සංවේදී තරුණ පරපුරක අවශ්‍යතාව මේ මොහොතේ තදින් පවතින බවයි. එසේම තරුණියක් ලෙස ඇය නොබියව නැඟූ අව්‍යාජ හඬට බියවූ බලධාරීන් ඊට දැක්වූ රළු ප්‍රතිචාර පිළිබඳව සිය අප්‍රසාදය පළකරන බවද එහි ගිය ප්‍රවීණ කවීන් ඇයට පවසා තිබේ. සියලු කවි කිවිඳියෝ රඹුක ගඟ ඉවුර ආසන්නයේ කුඹුක් සහ මී පැල රෝපණය කිරීමකටද එක්ව තිබේ.

Facebook
Twitter
LinkedIn