දේශපාලන හයියෙන් සිදුකළ ජාවාරම් වැටලූ පොලිස් අධිකාරි ඇතුළු කණ්ඩායමට ස්ථාන මාරුවීම්

දේශපාලන හයියෙන් සිදුකළ ජාවාරම් වැටලූ පොලිස් අධිකාරි ඇතුළු කණ්ඩායමට ස්ථාන මාරුවීම්

දේශපාලන බලය යොදා ගනිමින් වෙන්නප්පුව ප‍්‍රදේශයේ සිදුකරමින් පවතින නීති විරෝධී ජාවාරම් මර්දනය කිරීමට කටයුතු කරනු ලැබූ විශේෂ පොලිස් ඒකකය විසුරුවා එය මෙහෙයවූ පොලිස් ප්‍රධානියාට ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි වාර්තා වේ.

වත්මන් ආණ්ඩුවේ සිටින රාජ්‍ය ඇමතිවරයකුගේ උදහසට ලක්වීම නිසා මෙලෙස ස්ථාන මාරුවීම් කර තිබෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින දක්ෂ නිලධාරියෙකු වන සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා ඇතුළු එම ඒකකයට අනුයුක්තව රාජකාරී කළ නිලධාරීන්ය. සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතා පොලිස් විශේෂ කාර්ය බලකායේ දීර්ඝ කාලයක් රාජකාරි කළ දක්‍ෂ කාර්යශූර නිලධාරියෙකු වන බව පැවසේ.

එම විශේෂ පොලිස් ඒකකයේ රාජකාරි කළ පොලිස් පරීක්‍ෂකවරුන් දෙදෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් පස්දෙනකු වහාම ක‍්‍රියාත්මක වන පරිදි සාලියවැව, වව්නියාව, මුලතිව්, මාදම්පේ පොලිස් ස්ථානවලට මාරුකර යවා තිබේ. සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මෙලෙස මාරුකර යැවීම සම්බන්ධයෙන් ප‍්‍රදේශයේ ජනතාව දැඩි අප‍්‍රසාදය පළකර සිටින අතර ඉදිරි දිනවලදී ඊට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක් පැවැත්වීමට ද කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ක‍්‍රියාත්මක වූ මෙම විශේෂ පොලිස් ඒකකයේ නිලධාරීන් වෙන්නප්පුව මාදම්පේ ඇතුළු ප‍්‍රදේශ ගණනාවක කාලයක් තිස්සේ නීති විරෝධීව කරගෙන ගිය මත්පැන්, හෙරොයින්, ගංජා ජාවාරම් මර්දනය කර වැලි සහ මැටි කැපීමේ ජාවාරම් පාලනය කරමින් එම පිරිස් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ. අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් වැඩි දෙනෙක් ප‍්‍රදේශය නියෝජනය කරන එක්තරා රාජ්‍ය ඇමැතිවරයෙකුගේ ගෝලයෝ බවත් මෙම ජාවාරම්කරුවන් මුදවා ගැනීමට අවස්ථා රැසකදීම අදාළ දේශපාලනඥයයා සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාට දැඩි බලපෑම් එල්ල කර ඇතත් එම බලපෑම්වලට යටත් නොවූ සහකාර පොලිස් අධිකාරිවරයා මෙම මෙහෙයුම් නොනවත්වා කරගෙන ගොස් ඇත.

පසුව එම දේශපාලඥයා රජයේ ඉහළම දේශපාලනඥයකුට ආයාචනා කර සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා සහ ඔහු යටතේ තිබූ විශේෂ ඒකකයේ නිලධාරීන් වහාම ක‍්‍රියාත්මක වන පරිදි මාරුකර යැවීමට කටයුතු කර ඇතැයි පැවසේ. මේ පිළිබඳව තොරතුරු අද (25) දින දිවයින පුවත්පතේ ප්‍රධාන පුවතින් හෙළිකර තිබේ.

Facebook
Twitter
LinkedIn