බඩු මිල ඉහළ යාම, දුවා දරුවන්ට රැකියා අහිමිවීම, ගොවි ජනතාවට අස්වැන්න නිසි මිලකට විකුණාගැනීමට නොහැකිවීම, ධීවර ජනතාවට තම මාළු අස්වැන්න නිසි මිලකට විකුණාගැනීමට නොහැකි වීම, ගෑස් මිල, තෙල් මිල ඉහළ යාම, රැකියා සොයාගැනීමට දුෂ්කර වීම ආදී කරුණු සියල්ලම ආර්ථිකය බිඳවැටීම විසින් ඇතිකරණ ලද අර්බුද යැයිද එය ආර්ථිකය බිඳවැටීමේ ප්රකාශනයන් යැයිද ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක අවධාරණය කරයි.
බඩුමිල ඉහළ යනවිට එය විසඳීම සඳහා ගැසට් එකක් නිකුත් කරන නමුත් ගැසට් එකේ මිලට බඩු නැතැයිද ගැටළුව ඇත්තේ බඩුමිලේ නොවන බවත් මෙම පෙන්නුම් කරන ලද ගැටළු ආර්ථිකයේ ඇති වී තිබෙන අර්බුදය විසින් ජනිත කරන ලද ගැටළු බවත් එම ගැටළුවලට විසඳුම් ගැසට්වලින් ලබාදින නොහැකි බවත් අනුර දිසානායක මහතා අවධාරණය කළේය.
අපේ රට ආර්ථිකයේ මුහුණදී තිබෙන ප්රධානම අර්බුදය ණය අර්බුදය බවත් 2021 වසර අවසන් වනවිට මෙරට ණය ප්රමාණය බිලියන 17,300 දක්වා ඉහළ යන බවද ඔහු අවධාරණය කළේය. එමෙන්ම එයාර් ලංකා, වරාය අධිකාරිය, පෙට්රෝලියම්, විදුලි බල මණ්ඩලය, ලංකා බැංකුව ආදී රාජ්ය ආයතනවල ණය බිලියන 1300ක් ඇති බවත් එය 2021 අවසන් වනවිට සමස්ත ණය ප්රමාණය බිලියන 19,600ක් වන බවත් මෙම වසර අවසන් වනවිට එක් පුද්ගලයෙකුගේ ණය පංගුය ලක්ෂ 09 ඉක්මවන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක අවධාරණය කරයි.
ඔහු මේ බව පැවසූවේ ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන බඩුමිල ඉහළට, ආර්ථිකය පහළට, සිස්ටම් ෆේල් සම්මන්ත්රණ මාලාවේ ආරම්භක සම්මන්ත්රණය අමතමිණි.












