ඇතැම් පාර්ශ්ව හොරපාරෙන් කොවිඩ් එන්නත ලබාගන්නවා – සෞඛ්‍ය අමාත්‍යාංශය

ඇතැම් පාර්ශ්ව හොරපාරෙන් කොවිඩ් එන්නත ලබාගන්නවා – සෞඛ්‍ය අමාත්‍යාංශය

ඇතැම් පාර්ශ්ව විවිධ බලපෑම් කරමින් කොවිඩ් එන්නත වෙනත් මාර්ගවලින් ලබාගන්නා බවට තොරතුරු ලැබී ඇතැයිද සියලු දෙනාම තමන්ගේ අවස්ථාව ලැබෙන තෙක් ඉවසිල්ලෙන් සිටිය යුතුයැයිද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අනාවරණය කරයි.

“යම් යම් පුද්ගලයින් විසින් මේ සැලසුමට පිටින් විවිධ බලපෑම් කරලා හැඳුනුම්කම්, තනතුරු භාවිත කරලා එන්නත් ඉල්ලන තත්වයකට පත්වෙලා. එන්නත්කරණය සිදුකරන මධ්‍යස්ථානවලට ගිහින් කියනවා අපි සමග එන පුද්ගලයින්ට එන්නත් ලබා දෙන්න කියලා. අපි මේ එන්නත කාටවත් ලබානොදී සිටීමේ බලාපොරොත්තුවක් නැහැ. එම නිසා සියලුදෙනාම තමන්ගේ අවස්ථාව ලැබෙන තෙක් ඉවසිල්ලෙන් ඉන්න කියලා ඉල්ලා සිටිනවා.”

“කාලයත් එක්ක එන සාක්ෂි එක්ක අපිට පළවෙනි එන්නත සහ දෙවනි එන්නත අතර පරතරය පවා වෙනස් කරන්න සිද්ධ වුණා. අපි එන්නතට සැලසුම් කරන අවස්ථාවෙදී ප්‍රමුඛතාවය ලැබිච්ච දේවල්වලට එහා ගිය සමහර අවශ්‍යතාවයන් අපිට පැහැදිලි වුණා,” යැයි ප්‍රමුඛතාව උල්ලංඝණය කරමින් ක්‍රමවේදයකින් තොරව එන්නත ලබාදීම සම්බන්ධයෙන් වන චෝදනාවට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ අනෙකුත් මහජන නියෝජිතයන්ට සහ විවිධ ප්‍රභූ පවුල්වලට, ප්‍රමුඛතාවය අනුව ඔවුන්ගේ අවස්ථාව එනතුරු නොසිට වරප්‍රසාදයක් ලෙස එන්නත ලබාදීම සම්බන්ධයෙන් මේ වනවිට රට තුළ දැඩි විවේචනයක් එල්ල වෙමින් තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදුන් ප්‍රමුඛතා ලැයිස්තුව අනුව එන්නත්කරණය සිදු කරන්නේ කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන කොවිඩ් මර්දන එන්නත බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පෙන්වා දෙයි.

“එන්නත ලබාගැනීමට පෙර තමන්ගේ රෝග තත්වයන් පිළිබඳව අනිවාර්යයෙන්ම දැනුම්දිය යුතුයි. ගැටලුවක් තියෙනවා නම් පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාව හමුවෙලා ඒ සම්බන්ධයෙන් වැඩිදුර කටයුතු කරන්න අවස්ථාව තියෙනවා.” යැයි නිදන්ගත රෝග ඇති පුද්ගලයින්ට එන්නත ලබාගත හැකි ආකාරය පිළිබඳවද සඳහන් කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn