ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු සහ විභාග සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්විය යුතු බවට නීති අධ්‍යාපන සභාව විසින් තීරණයක් ගනු ලැබ තිබේ. පසුගිය දෙසැම්බර් 30වැනි දින නිකුත් කරන ලද 2208/13 අති විශේෂ ගැසට් නිවේදනය අනුව නීති අධ්‍යාපන සභා ආඥා පනතේ සිදු කරන ලද සංශෝධනයක් මගින් මෙම වෙනස්කම් නීති ගත කරනු ලැබ ඇත.
එම ගැසට් පත්‍රයේ 28 අ. වගන්තිය ලෙස ඇතුළත් කර ඇති අලුත් රීතිය පහත පරිදිය.
(1) ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ පවත්වනු ලබන සියලුම පාඨමාලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පවත්වනු ලැබිය යුතුය.
(2) විභාග පිළිබඳ අනිවාර්ය මාධ්‍ය ඉංග්‍රීසි විය යුතු අතර එය පහත දැක්වෙන පරිදි හඳුන්වා දෙනු ලැබිය යුතුය.
(අ) 2022 වර්ෂයෙන් ආරම්භව පළමු වසර - අවම වශයෙන් විෂයයන් තුනකට (3) ඉංග්‍රීසි මාධ්‍යයෙන් පිළිතුරු සැපයිය යුතුය.
(ආ) 2023 වර්ෂයෙන් ආරම්භව දෙවන වසර - අවම වශයෙන් විෂයයන් පහකට (5) ඉංග්‍රීසි මාධ්‍යයෙන් පිළිතුරු සැපයිය යුතුය.
(ඇ) 2024 වර්ෂයෙන් ආරම්භව අවසන් වසර - සියලු විෂයයන් සඳහා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පිළිතුරු සැපයිය යුතුය.
මෙම නව සංශෝධන අනුව නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට අයදුම් කළ හැක්කේ උසස් පෙළ විභාගයේදී අවම වශයෙන් එකවර සම්මාන (C) සාමාර්ථ දෙකක් සහ එක් සාමාන්‍ය (S) සාමාර්ථ එකක් ලබා ඇති තැනැත්තෙකුට පමණි. නව සංශෝධනයට පෙර පැවති අවශ්‍යතාව වූයේ එකවර සාමාන්‍ය (C) සාමාර්ථ තුනක් ලබා තිබීමය.
මේ නව සංශෝධන පිළිබඳව අදහස් දක්වන නීති සිසුන් සහ නීති විද්‍යාල ප්‍රවේශ අපේක්ෂකයින් පවසන්නේ නීතිය හැදෑරීම නැවතත් යටත්විජිත යුගයට ගෙන යමින් ග්‍රාමීය ප්‍රදේශවලින් පැමිණෙන සිසුන් නීති අධ්‍යාපනයෙන් ඉවත්කිරීමට නව සංශෝධන මගින් උත්සාහ කර ඇති බවයි.










