කොරෝනා පොකුරක් හමුවූ මිහින්තලේ සිවිල් ආරක්ෂක පුහුණු පාසලේ 200ක පමණ භට පිරිසක් සෞඛ්‍ය අංශ උපදෙස් නොතකා කොළඹ නිදහස් දින පෙලපාලියේ පෙරහුරුවලට සහභාගී වීම හේතුවෙන් පෙබරවාරි 04දා පැවැත්විමට නියමිත නිදහස් දින උත්සවයද දැඩි අනධානමකට හෙලා ඇතැයි වාර්තා වේ.
මතුව ඇති අවධානම් තත්වය ගැන අදහස් පලකළ අනුරාධපුර වසංගත රෝග විශේෂඥ වෛද්‍ය තේජන සෝමතිලක පැවසුවේ මිහින්තලේ පුහුණු පාසල තුළ දිවයිනේ සිව්දෙසින් පැමිණි සිවිල් ආරක්ෂක සෙබලුන් 600ක් පමණ නිදහස් දින පෙලපාලිය සඳහා පුහුණුවිම් සිදු කළ බවයි. ඔවුන් අතරින් අහඹු PCR පරීක්ෂණ සිදුකළ විට කොරෝනා ආසාදිතයන් 17 දෙනෙක් හමුවූ බවයි.
“මෙතන ඉන්න සියලු දෙනා ඒ ආසාදිතයන් 17 දෙනාගේ පළමු පෙල ආශ්රීතයෝ. අපි කිව්වා මෙම කන්ඩායම නිදහස් දින පෙලපාලියේ පෙරහුරු සඳහා කොළඹ යවන්න එපා කියලා. එත් මෙම පුහුණු පාසලේ උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කළ පිරිසෙන් 200ක කණ්ඩායමක් අපේ උපදෙස් නොතකා කොළඔ යවලා. අපිට නිරීක්ෂණය වෙච්ච දේ තමයි මෙම පුහුණු පාසල තුළ සිටි සියලු දෙනාටම කොරෝනා වෛරසය ආසාදනය වෙලා තිබුනා.” වෛද්‍ය සෝමතිලක වැඩිදුරටත් පවසයි.










