ඉන්දියාවෙන් ලැබුණු කොවිඩ්-19 එන්නත මෙරටදී ලබාදෙන ප්‍රමුඛතා ලැයිස්තුව අනුව අවුරුදු 60ට වැඩි පුරවැසියන් ඊට ඇතුළත් වේ. ඒ අනුව පාර්ලිමේන්තුවේ අවුරුදු 60ට වැඩි මන්ත්‍රීවරුන් සඳහාද එන්නත ලබාදෙනු ඇත.
මේ අනුව පාර්ලිමේන්තුවේ අවුරුදු 60ට වැඩි මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 61ක් වේ. මහජන ඡන්දයෙන් පත්වූ මන්ත්‍රීවරුන් අතර අවුරුදු 61-70 කාණ්ඩයට අයත් සංඛ්‍යාව 37ක් වේ. ඒ අනුව 69 හැවිරිදි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම කාණ්ඩයට අයත් වේ.
අවුරුදු 71-80 වයස් කාණ්ඩය නියෝජනය කරන සංඛ්‍යාව නවයකි. ඒ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ චමල් රාජපක්ෂ ද සිටින බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අවුරුදු 81-90 වයස් කාණ්ඩය නියෝජනය කරන තිදෙනෙකු මෙවර පාර්ලිමේන්තුවේ දක්නට ලැබේ. ඒ, වාසුදේව නානායක්කාර, සී.වී විග්නේශ්වරන් සහ ආර්.සම්පන්දන් ය. ඉතිරි පිරිස ජාතික ලැයිස්තුවෙන් පත්වූවන් වන අතර මේ වනතෙක් එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා පත් කොට නොමැත. එම මන්ත්‍රී අසුන සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පත්වුහොත් 60ට වැඩි මන්ත්‍රීවරුන් ගණන 62ක් බවට පත්වේ.
කෙසේ වෙතත් වයස් කාණ්ඩය අනුව ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාටද එන්නත හිමිවනු ඇත.මේ අතර මේරට ජනගහනය අනුව අවුරුදු 60ට වැඩි පුරවැසියන් ගණන ලක්ෂ 39කට ආසන්න වේ.










