නවසීලන්ත අගමැතිනිය Jacinda Ardern විසින් පසුගිය 25 වැනිදා එරට මාධ්‍ය අමතමින් ප්‍රකාශ කලේ කොරෝනා වසංගතයට තිරසාර ඖෂධයක් හෝ එන්නතක් සොයා ගන්නා තුරු තම රට විදේශිකයන්ට හා සංචාරකයින්ට ඇතුළුවීම තහනම් කරනු ලබන බවයි. මෙම තහනම නවසීලන්තයේ වෙසෙන විදේශිකයන්ට හා එරට වැසියන්ට බලනොපානු ඇත.
මාස දෙකකට පසු පළමු කොරෝනා රෝගියා පසුගිය සති අන්තයේදී සොයාගත් පසු රජය මෙම තීරණයගත් බව නවසීලන්තයේ වඩාත් ජනතා ගෞරවයට පත් රාජ්‍ය නායිකාව ලෙස සැලකෙන අගමැතිණි Jacinda Ardern පවසන්නීය. රෝගී බවට පත් වූ කාන්තාව දකුණු අප්‍රිකාවෙන් මතු වූ කොරෝනා විභේදයෙන් අසාධ්‍ය තත්වයට පත් වූ රෝගියෙකු ලෙස හඳුනාගෙන තිබිණි.
එරට සමස්ථ ආර්ථිකයෙන් 20% උපයා ගැනෙනුයේ කෘෂි හා මස් නිෂ්පාදන අපනයනය කිරීමෙන් වන අතර දෙවන අදායම ලෙස වාර්තාවනුයේ සංචාරක කර්මාන්තය වේ. සංචාරක කේෂ්ත්‍රය එරට දළ ජාතික නිෂ්පාදනයට ඩොලර් බිලියන 12.8ක දායකත්වයක් ලබා දේ. මිලියන 5 කින් යුත් එරට ජනගහණයෙන් 9% ක් එනම් ලක්ෂ දෙකක ශ්‍රම බලකායක් එම කේෂ්ත්‍රයේ සේවය කරති. පසුගිය වසරේ මාර්තු මාසයේ සිට රට වසා දැමීමෙන් සංචාරක ව්‍යාපාරයේ නිරතු රැකියා අහිමිවූ මෙම ශ්‍රමිකයන්ට වැටුප් ගෙවනු ලබන්නේ නවසීලන්ත රජය විසිනි.
කොරෝනා වසංගතය නිසා පිඩා විඳින අනෙකුත් රටවලට ආදර්ශයක් ලෙස නිරතුරුවම නවසීලන්තයට පැසසුම් හිමි වන අතර මේ වනවිට එරටින් මියගිය සංඛ්‍යාව 25 දෙනෙකු වන අතර රෝගය වැළඳුනු ප්‍රමාණය 2000ක් ලෙස වාර්තා වේ.
“නවසීලන්තය සාමාන්‍ය තත්වයට පත්වූවා යැයි සැලකිය හැක්කේ සමස්ථ ලෝකය සාමාන්‍ය තත්වයට පත් වූදාට පමණි. දැනට ලෝකය පුරා පවතින වසංගත තත්වය පිළිබඳව විමසා බලද්දී හා ජාත්‍යන්තර තලයේ වැක්සීන සම්බන්ධයෙන් ඇති අවිනිශ්චිතභාවයත් නිසා බොහෝ විට 2021 වර්ෂයේ විශාල කාලයක් පුරා රටේ ගුවන් සීමා වසා දැමීමට රජය තීරණය කළා. ආර්ථික අරමුණු වලට වඩා සමස්ථ ජනතාවගේ ආරක්ෂාව හා සෞඛ්‍යය වඩා වැදගත් ” යයි ඇය වැඩිදුරටත් පැවසුවාය.










