ආනවිළුන්දාව “රැම්සා අභයභූමියට“ අයත් ප්‍රදේශයක් අනවසරයෙන් සහ අනීතික ලෙස එළිකර ඇත්තේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ සොයොයුරා වන ආරච්චිකට්ටටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත යන අයගේ ඉල්ලීම මත බව අදාළ පරිසර විනාශය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කළ විශේෂඥ කමිටු වාර්තාව අනාවරණය කර තිබේ.
ආරච්චිකට්ටටුව ආනවිළුන්දාව “රැම්සා අභයභූමියට“ අයත් ප්‍රදේශයක් ඉස්සන් වගාව සඳහා අනුමැතියකින් තොරව ඩෝසර් කිරීම පිළිබඳව “වයඹ හඬ“ පරිසර සංවිධානයේ සංවිධායක අජිත් ගිහාන් මහතා මාධ්‍ය ඔස්සේ පළමුවරට කරුණු අනාවරණය කිරීමෙන් පසු සමාජ්ය මාධ්‍යවල සහ පරිසරවේදීන්ගේ බලඵෑම මත බලධාරීන්ගේ අවධානය ඒ වෙත යොමු වුණි.
ඒ අනුව මේ පිළිබඳව සොයාබැලීම සඳහා වනජීවි සහ වන සංරක්ෂණ අමාතයාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කිරීමට විෂය බාර අමාත්‍ය සී.බී රත්නායක මහතා විසින් පත්කරණු ලැබීය.
එම කමිටුවේ වාර්තාව පසුගිය 08 වනදා විෂයභාර අමාත්‍යවරයා වෙත ලබා දීමෙන් අනතුරුව ඊයේ (09) පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සිදුකරන ලදී.
එම වාර්තාව අනුව පොලීසියට ලබා දුන් සාක්ෂිවලට අනුව මෙම ඉස්සන් කොටුව ප්‍රතිසංස්කරණය කිරීමේ නිරත වූ ඩෝසර් හිමිකරු පෝරුවතොටගේ සුජිත් නිශාන්ත ප්‍රනාන්දු යන අය ලෙසත් ඉස්සන් කොටුව ශුද්ධ කිරීමේ කොන්ත්‍රාත්තුව ලබාදුන් පුද්ගලයා වර්ණකුලසූරිය නිශාන්ත ප්‍රනාන්දු යන අය බවත් කමිටුව විසින් හඳුනාගෙන තිබේ.
ආරච්චිකට්ටටුව හිටපු ප්‍රාදේශීය සභා සභාපති ජගත් සමන්ත යන අයගේ ඉල්ලීම මත මෙම සුද්ධ කිරීම සිදුකර ඇති අතර ඔහු විසින් මීට පෙර අවස්ථා කිහිපකදී ද, අදාළ ප්‍රදේශය ඉස්සන් වගා ව්‍යාපෘති සඳහා මෙලෙස භාවිත කර තිබෙන බවද මෙම වාර්තාවේ සඳහන්ය.
මෙම ජගත් සමන්ත යනු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ සොහොයුරා ය.
සිද්ධිය පිළිබඳව කමිටුව ලබාගත් සියලු සාක්ෂි සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව ඔවුන් නිරීක්ෂණය කළ කරුණු ලෙස මෙම ඉඩම අනවසරයෙන් සහ අනීතික ලෙස ඉස්සන් ව්‍යාපෘතියක් සඳහා යොදාගැනීමට උත්සහ කර ඇති බව සඳහන් කර තිබේ.
ඒ අනුව අදාළ වරදකරුවන්ට රුපියල් 15000 සිට ලක්ෂ 05ක් දක්වා දඩ මුදලකට හෝ වසර 02කට නොඅඩු සහ වසර 05කට නොවැඩි බන්ධනාගාරගත කිරීම යන දඬුවමකට යටත් වන වරදක් බව කමිටු වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ය.










