පාර්ලිමේන්තු යන්න අවසර ඉල්ලා චොකා මල්ලී අභියාචනාධිකරණයට යයි

පාර්ලිමේන්තු යන්න අවසර ඉල්ලා චොකා මල්ලී අභියාචනාධිකරණයට යයි

පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීමට අවසර ලබා දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මරණ දඬුවම නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චොකා මල්ලී හෙවත් ප්‍රේමලාල් ජයසේකර මහතා විසින් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ගොනු කර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය, වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා නම් කර ඇත.

පෙත්සම්කරු කියා සිටින්නේ, මිනීමැරීමේ චෝදනාවකට වරදකරු කෙරුණු තමන්ට රත්නපුර මහාධිකරණය මඟින් මරණීය දණ්ඩනය නියම කළ බවත්, එම දඬුවමට එරෙහිව තමා අභියාචනාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවය.

එසේ තිබියදී ඉකුත් මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ තමන්ව පාර්ලිමේන්තු රැස්වීම සඳහා රැගෙන යාම බන්ධනාගාර බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරමින් සිටින බව පෙත්සම්කාර චොකා මල්ලී හෙවත් ප්‍රේමලාල් ජයසේකර මහතා චෝදනා කර සිටී.

නීතිපතිවරයා පසුගියදා බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත දන්වා සිටියේ චොකා මල්ලී හෙවත් ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තුවට සහභාගීවීම සඳහා නීතිමය හැකියාවක් නොමැති බව ය.

Facebook
Twitter
LinkedIn