ප්‍රජාවන් අතර සම්බන්ධතාවය ඇතිකිරීමේ පාලමක් ලෙස කටයුතු කළ ආචාර්ය ශුක්රිගේ වියෝවෙන් ඇතිවූ හිඩැස ඉතා විශාලයි

ප්‍රජාවන් අතර සම්බන්ධතාවය ඇතිකිරීමේ පාලමක් ලෙස කටයුතු කළ ආචාර්ය ශුක්රිගේ වියෝවෙන් ඇතිවූ හිඩැස ඉතා විශාලයි

ප්‍රජාවන් අතර සම්බන්ධතාවය ඇතිකිරීමේ පාලමක් ලෙස කටයුතු කළ ආචාර්ය ශුක්රි මහතාගේ වියෝවෙන් ඇතිවූ හිඩැස ඉතා විශාල යැයි ආචාර්ය එම්.ඒ.එම් ශුක්රි  මහතාගේ වියෝව සම්බන්ධයෙන් ජාතික විද්වත් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ජාතික විද්වත් සංවිධානයේ සභාපති මහාචාර්ය චන්දන අබේරත්න මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය පහතින් පල වේ…

“ශ්‍රී ලංකාව තුළ යහපත් දේශපාලන සංස්කෘතියක්, යුක්තිය, සමානාත්මතාවය සහ සමාජ හා ආර්ථික ක්ෂේත්‍රය ගොඩනැගීම සඳහා කටයුතු කරන සමාජ දේශපාලන ව්‍යාපාරයක් ලෙස, මේ රටේ සමාජ සමගිය, සමෘද්ධිය සහ දැනුම පුනර්ජීවනය සඳහා කටයුතු කළ 2016.05.19 දින අභාවප්‍රාප්ත වූ ආචාර්ය එම්.ඒ.එම් ශුක්රි මහතාගේ වියෝගය පිළිබඳ අපගේ ශෝකය මෙයින් පළ කරමු. එවන් විශාරදයකුගේ නික්ම යාම අප රටට විශාල පාඩුවක් අපි සිතිමු. ශ්‍රී ලංකාව සහ මුස්ලිම් ප්‍රජාවද දැඩි අර්බුදකාරී තත්වයක් පසුකරමින් සිටින මෙවන් මොහොතක මුස්ලිම් ප්‍රජාව වෙනත් ප්‍රජාවන් සමඟ බන්ධනය කර තැබීම සඳහා දැඩිලෙස වෙහසූ ආචාර්ය ශුක්රිගේ වියෝවෙන් ඇතිවූ හිඩැස ඉතා විශාලය.

කැළණි සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලවල අරාබි ඉස්ලාමිය අධ්‍යයන අංශ ප්‍රධානියා ලෙසත් පසුව නලීමියා ඉස්ලාමීය අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ලෙසත් කටයුතු කළ ආචාර්ය එම්.ඒ.එම් ශුක්රි මහතා බහුභාෂා හැකියාව සහිත විශිෂ්ට කර්තෘවරයෙක් සහ දේශකයෙකි.

ජාතික සමගිය, ශිෂ්ටාචාර, අන්තර්-ආගමික සංවාදය, සමාජ-ආර්ථික සමානාත්මතාවය, ඉස්ලාමයේ මානව හිමිකම් සහ ආගම හා විද්‍යාව අතර සම්බන්ධතාවය වැනි විවිධ කරුණු පිළිබඳ ඔහුගේ ලේඛනවල අපට දැක ගත හැකිය.  “Muslims of Sri Lanka- Avenues to Antiquity” මෙම මුස්ලිම්වරුන්ගේ ඓතිහාසික කෘතිය සම්පාදනය කිරීමේ ක්‍රියාවලියේදී නියැලී සිටි අධ්‍යයන කණ්ඩායමට නායකත්වය දී ඔහු එහි සංස්කාරක ලෙස ද කටයුතු කිරීම ඔහුගේ අධ්‍යයන දායකත්වයන් අතර කැපී පෙනේ.

ජාතික මට්ටමින් බොහෝ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන හා පද්ධතිවල සාමාජිකත්වය දැරූ ආචාර්ය ශුක්රි ඒ මගින් ඔහු තම රටටත් දායක වී ඇත. යුනෙස්කෝ ආයතනයේ ලාංකීය ජාතික කවුන්සිලය, කැළණි විශ්වවිද්‍යාල කවුන්සිලය, රාජ්‍ය භාෂා කොමිසම, මානව හිමිකම් කොමිසමේ දකුණු පළාත් කමිටුව, අපරාධ වැළැක්වීම පිළිබඳ ජාතික උපදේශක සභාව, පුරාවිද්‍යා අධ්‍යයනය පශ්චාත් උපාධි ආයතනයේ මණ්ඩලයේ පාලක සභාව, ජාතික වර්ධන කෞතුකාගාරයේ උපදේශක මණ්ඩලය, පුස්තකාල සේවා මණ්ඩලය ආදිය විවිධ ජාතික සංවිධානවල සාමාජික ලෙස තම දායකත්වය ලබාදී ඇත. ජාතික අධ්‍යාපන ආයතනය හා ශ්‍රී ලංකාවේ විභාග දෙපාර්තමේන්තුව සමඟ ඔහු දිගු කලක් කළ දායකත්වය මිල කළ නොහැකි ය.

ප්‍රජාවන් අතර සම්බන්ධතාවය ඇතිකිරීමේ පාලමක් ලෙස සිටි ඔහු සියලුම ප්‍රජාවන් තුළ වෙසෙන බුද්ධිමතුන්ට පූර්වාදර්ශයක් සපයයි. ඔහුගේ වියෝවෙන් ශෝකයට පත්ව ඇති පවුලේ සැමට අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමු.

මහාචාර්ය චන්දන අබේරත්න,

සභාපති,

ජාතික විද්වත් සංවිධානය.”

 

Facebook
Twitter
LinkedIn