වැටුප් කැපීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

වැටුප් කැපීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා විසින් වැටුප හෝ වැටුපෙන් කොටසක් රජයට ලබාදෙන ලෙස රාජ්‍ය ආයතන වෙත ඉදිරිපත් කර ඇති ලිපියට අනුව විවිධ ආයතන මගින් මේ වනවිට වැටුප් කපා දැමීමට එරෙහිව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය මගින් අද (18) මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

එම අවස්ථාවට සහභාගී වූ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා මාධ්‍ය වෙත පැවසූයේ මේ වනවිට තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයින්ගෙන් දිනක වැටුප සේවක කැමැත්තකින් තොරව කපා දමා ඇති බවත් එමෙන්ම මුද්‍රණ සංස්ථාව තුළත්, අධ්‍යාපන පළාත් කාර්යාල හරහා ගුරුවරුන්ගේත් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිතිවල ඉල්ලීමට යැයි සඳහන් කරමිනුත්, එම සේවකයින්ගේත් වැටුප් කපා දැමීමට තීරණය කර ඇති බවත් ය.

මෙය සම්පූර්ණයෙන් ආයතන සංග‍්‍රහයේ මුදල් රෙගුලාසි උල්ලංඝනය කිරීමක් බවත් මෙම කපාගන්නා මුදල් කොරෝනා මර්දන අරමුදල වෙනුවෙන්ද යන්න රාජ්‍ය සේවකයින්ට විශ්වාසයක් නොමැති බවත් මෙහිදී මහින්ද ජයසිංහ මහතා පැවසී ය.

පී.බී ජයසුන්දර මහතාගේ මෙම ලිපියට අනුව රාජ්‍ය ආයතනවල ප‍්‍රධානීන් මෙම වැටුප් බලහත්කාරයෙන් කපාදැමීමේ ක‍්‍රියාවලියක නිරතව සිටින නිලධාරීන්ට එරෙහිව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ලෙස නීති මගින් කටයුතු කිරීමට තීරණය කර ඇති බවත් එහි පළමු පියවර ලෙස මේ සම්බන්ධව මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කිරීමට කටයුතු කර ඇති බවද ඉදිරියේදී ආණ්ඩුවේ මෙම ක‍්‍රියාවලියට එරෙහිව වෘත්තීය ක‍්‍රියාමාර්ග වුව ගැනීමට සූදානම් බවත් මහින්ද ජයසිංහ මහතා මෙහිදී පැවසී ය.

මෙම අවස්ථාව සඳහා අන්තර් සමාගම් සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් නීතීඥ ජානක අධිකාරී, ලංකා තැපැල් සේවා සංගමයේ ලේකම් ඩී.එම් විජේරත්න, එම සංගමයේ සභාපති ජගත් මහින්ද ඇතුලු වෘත්තීය සමිති නියෝජිතයින් සහභාගී වූ හ.

Facebook
Twitter
LinkedIn