මහරගම පිළිකා රෝහලේ අධ්‍යක්ෂගේ වෛරී ප‍්‍රකාශ නිසා ‘සුපිළිිපන් ප‍්‍රණාම’ සම්මානයත් අවලංගුයි

මහරගම පිළිකා රෝහලේ අධ්‍යක්ෂගේ වෛරී ප‍්‍රකාශ නිසා ‘සුපිළිිපන් ප‍්‍රණාම’ සම්මානයත් අවලංගුයි

ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ‍්‍රී ලංකා ආයතනය 2018 වසරේ මහරගම පිළිකා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතාට පිරිනමන ලද ‘සුපිළිිපන් ප‍්‍රණාම’ සම්මානය එම වෛද්‍යවරයා විසින් පසුගිය කාලයේ කරන ලද වෛරී ප‍්‍රකාශ හේතුවෙන් අවලංගු කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පවසා ඇත.

ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ‍්‍රී ලංකා ආයතනය 2020 මාර්තු 31 වන දින සිය නිවේදනය නිකුත් කරමින් ඒ බව පවසා ඇත.

ෆයිට් කැන්සර් අරමුදලේ නිර්මාතෘ එම්. එස්. එච්. මොහොමඩ් සහ එම කණ්ඩායම ඉලක්ක කර ගනිමින් පිළිකා රෝහලට යන්ත‍්‍ර මිලදී ගැනීම සඳහා එම කණ්ඩායම එකතු කළ රුපියල් කෝටි 14ක මුදලක් එම රෝහලට නොලැබෙන බව පවසමින් මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ ප්‍රවෘත්තියක් නිර්මාණය කරමින් වෛරී ලෙස ප‍්‍රකාශ සිදුකර තිබුණි.

එම වෛද්‍යවරයාගේ වෛරී ප‍්‍රකාශ මුල් කරගනිමින් 2020 ජනවාරි මස ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ‍්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී එම වෛද්‍යවරයාට ලබාදුන් එම සම්මානය අවලංගු කිරීමට තීරණය ගෙන ඇත.

සම්මානය ඉවත් කිරීම පිළිබඳව අභියාචනයක් ඉදිරිපත් කිරීමට මාර්තු 20 වැනිදා දක්වා කාලය ලබා දුන් නමුත් ඔහු අභියාචයනයක් ඉදිරිපත් නොකළ බවද ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය සඳහන් කර තිබේ.

‘සුපිළිපන් ප‍්‍රණාම’ සම්මානය යනු ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා ආයතනය වාර්ෂිකව පිරිනමන විශේෂ සම්මානයකි.

යම්කිසි ක්ෂේත‍්‍රයක අවංක සහ සුපිළිපන් සේවයක යෙදෙන විශේෂ පුද්ගලයන්ට එම සම්මානය පිරිනමනු ලබයි.

Facebook
Twitter
LinkedIn