තම ආණ්ඩුවේ 09වෙනි අයවැය ලේඛනය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින්ම 09වෙනි වරටත් ඉදිරිපත් කරගත්තේය. අයවැයට පෙරදා සියළුම මාධ්‍ය පාහේ තරගයට මෙන් ජනතාව වෙත ගොස් අයවැයෙන් ඔවුන් අපේක්ෂා කරන්නේ මොනවාදැයි විමසා සිටියේය. රාජ්‍ය සේවක වෘත්තීය සමිති රුපියල් 10,000ක අවම වැටුප් වැඩිවීමක් ඉල්ලා පාරට බැස තිබුනි. පෞද්ගලික අංශයේ හා වතු සේවකයන් ගේ ඉල්ලීම වී තිබුනේ රුපියල් 5,000ක වත් පඩි වැඩිවීමකි. ධීවරයන් ඉල්ලුවේ බෝට්ටු, දැල් ආම්පන්නවල මිල අඩුකර දෙන ලෙසය. වී වලට සහතික මිලක්, ගොවි විශ්‍රාම වැටුප, ගොවි උපකරණවල මිල අඩුවීම ගොවි ජනතාව අපේක්ෂා කලේය. විශ්වවිද්‍යාල ශිෂ්‍යයා ඉල්ලූවේ 2006සිට වැඩි නොකළ මහපොල,ශිෂ්‍යාධාර වාරිකය රුපියල් 5,000ක් කරන ලෙසය. පොදුවේ ජනතාව ඉල්ලූවේ මේ අයවැය දෙක අතර වැඩිකළ විදුලි බිල, ඉන්ධන මිල, බස් ගාස්තු හා බඩු මිල පහත දමන ලෙසය.
විවිධ ජන කොටස්වල මෙම ඉල්ලීම් අතිශය සාධාරණය. යුක්ති සහගතය. මානුෂිකය. මේවා ආණ්ඩු පෙරලීමේ උවමනාවෙන් ඉදිරිපත් කෙරෙන සටන් පාඨ නොවේ. ජීවත්වීම සඳහාම ඉදිරිපත් කෙරෙන ඉල්ලීම්ය. ජනතාව මෙසේ ඉල්ලා සිටින්නේ යුද්ධයත් අවසන් වී වසර 04ක් බලා සිට බැරිම තැනය. එහෙත් ආණ්ඩුව කියන්නේ ‘‘අපි යුද ගින්න නිවා දැම්මා. ඒකම මදිද?’’ කියාය. ආණ්ඩුව ඬේවිඞ් කැමරන්ට ඉංග්‍රීසියෙන් කියන්නේ තමන්ට තව කාලය හා අවකාශය ලබාදිය යුතු බවය. ලංකාවේ ජනතාවට සිංහලෙන් කියන්නේත් ඒ ටිකමය. දෙමලෙන් නොකීවාට දෙමල ජනතාව දැනගත යුත්තේත් ඒ ටිකම බව ආණ්ඩුව සිතා සිටී.
රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මෙවර අයවැයෙන් ද ජනතාවට ලැබුනු දෙයක් නැත. නොලැබුනු දෙයක් ද නැත. අයවැයේ දී එතුමා හැමදෙනා ගැනම සඳහන් කළේය. රජයේ සේවකයන්, ගොවීන්, ධීවරයන්, විශ්වවිද්‍යාල සිසුන්, රජරට වකුගඩු රෝගීන්, විශ්‍රාමිකයන්, කලාකරුවන්, කොළඹ වැඩකරන පිට පළාත්වල පොලිස් නිලධාරීන්, නඩුකාරවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු හැම දෙනා ගැනම ජනාධිපතිවරයා මොනවා හෝ කීවේය. හැට පැන්න වියපත් අම්මලාවත් එතුමාගෙන් අත් හැරුනේ නැත.
මෙවර අයවැය කතාවේ කූටප්රාප්තිජනක පොරොන්දුව රාජ්‍ය සේවකයාට රුපියල් 1200ක දීමනාවක් ලබාදීමය. ජනාධිපතිවරයා ඒ ගැන කියන විට ආණ්ඩුවේ ඇමතිවරු, මන්තී‍්‍රවරු තමන් ඉදිරිපිට ඇති මේස නොපැලූවා විතරය. දිනකට රුපියල් 40ක ආශ්චර්යමත් වැටුප් වැඩිවීමක්…..!
ජනාධිපතිවරයා එසේ නොමසුරුව රාජ්‍ය සේවකයාට ලබාදෙද්දී රාජ්‍යයේ ප්‍රධානියා වෙනුවෙන් වැඩිකර ගත් මුදල රුපියල් කෝටි 116කි. එනම් දිනකට වැඩිවීම රුපියල් ලක්ෂ 32කි. රජයේ සේවකයකුට රුපියල් 40ක් හා විධායක ජනාධිපතිවරයාට රුපියල් ලක්ෂ 32ක් එක් දිනක් වෙනුවෙන් වැඩිකර දුන් අයවැයක්…..!
ඊළඟ ආකර්ෂණීයම පොරොන්දුව ගොවි විශ්‍රාම වැටුප ලබන වසරේ සිට ලබාදීමයි. එයත් වයස 63 පැන්න ගොවීන්ටය. මේ නම් හතරබීරි කතාවකි. ගොවි විශ්‍රාම වැටුපට දායක මුදල් ලබා දුන්නේ ගොවියන්ය. දායක වූ ගොවීන් 9,50,000ක් අතරින් 92,000ක් විශ්‍රාම වැටුපට හිමිකම් ලබා තිබුනි. පසුගිය වසර දෙක තුල ආණ්ඩුව ගොවියාගේ මුදල් ගොවියාට ලබාදෙන ගොවි විශ්‍රාම වැටුප අත්හිටුවා තිබුනි. එය ගොවියාගේ මුදල් කොල්ලකෑමකි. ගොවි විශ්‍රාම වැටුප් අරමුදලේ තිබූ රුපියල් කෝටි ගණනට සිදුවූ දේ ආණ්ඩුව පළමුව රටට හෙළිදරව් කළ යුතුය. දෙවනුව පසුගිය වසර දෙකේ හිඟ මුදල් වහා ලබා දියයුතුය. වෙසක් පෝයදා මහා බත් දන්සැලක් පවත්වා මහා දානපතියෙක් ලෙස බෞතීස්ම ලැබීම දැන් බොහෝ කුඩු ජාවාරම්කාර මුදලාලිලාගේ පුරුද්දක් වී තිබේ.
මෙවර අයවැයෙන් ආණ්ඩුව යළිත් බඩු මිල වැඩිකර තිබේ. සුපිරි වෙළඳසැල් මත නව බද්දක් පනවා ඇති අතර එමගින් රුපියල් මිලියන 15,000ක් ආණ්ඩුව අපේක්ෂා කරයි. මේ සුපිරි වෙළඳසැල් යනු පොදු ජනතාව බඩු මිල දී ගන්නා සුපර් මාර්කට් මිස අති සුඛෝපභෝගී වෙළඳසැල් නොවේ. සති පොළට ගොස් සතියකට සරිලන බඩු මිල දී ගන්නා පාරිභෝගිකයන් මේ වන විට සිටින්නේ කලාතුරකිනි. එනිසා මේ සුපිරි වෙළඳසැල් මත පනවා ඇති නව බද්ද යනු අනියමින් පොදු ජනතාව මත පැටවූ බද්දකි. බද්ද ගසන්නේ ‘සුපිරි’ වෙළඳසැල්වලට වූවාට බද්ද වදින්නේ සුපිරි ධනපතියන්ට නොවේ. පොදු ජනතාවටය.
ඊළඟට 5% ක් වූ නව විදුලි සංදේශ බද්දය. ඒ අනුව සියළු දුරකතන ගාස්තු වැඩිවීමට නියමිතය. එයින් රුපියල් මිලියන 4000ක් ආණ්ඩුව අපේක්ෂා කරයි. සාමාන්‍යයෙන් රටේ පවුල් මිලියන පහක් සිටින නිසා එක් පවුලකට ලබන වසරේ දී වැඩිපුර රුපියල් 800ක් දුරකතන බිලට එකතුවේ.
රේගු බදු වැඩිකිරීමෙන් ආණ්ඩුව රුපියල් මිලියන 12,750ක් සොයා ගන්නා බව කියයි. එනම් අර්තාපල්, සීනි,පරිප්පු, ඉන්ධන,ඖෂධ ඇතුළු සියළු ආනයනික භාණ්ඩ මිල ඉහල යනු ඇත. තමන් දේශපේ‍්‍රමී යයි කියා ආණ්ඩුවත්, ජනාධිපතිවරයාත් නිතර පාරම් බාන නිසා මෙය ‘දේශපේ‍්‍රමී බද්දක්’ කියා හැඳින්වීමටද බැරි නැත. එහෙත් ජේම්ස් පැකර්ගේ ‘කැසිනෝ-ගණිකා-හෝටල් මිශ්‍ර ව්‍යාපෘතියට’ ආනයනය කරන සියළු භාණ්ඩ වසර 10ක් සඳහා රේගු බදුවලින් නිදහස් කර ඇත. සමහරවිට ඒ කැසිනෝත්, ගණිකාවෝත් ‘දේශපේ‍්‍රමීන්’ පරිභෝජනය කරන නිසා විය හැක.
ආණ්ඩුව ‘බජට්’ එකෙන් බඩු මිල වැඩිකර ඇත. ඊළඟට ‘ගැසට්’ එකෙන්ද වැඩි කරනු ඇත. මේ එන්නේ CHOGM බද්දය. කුම්බලා මාළු කෑ බළල්ලු විඳවිය යුතුය. එහෙත් දැන් මේවා විඳවීමට සිදුව ඇත්තේ බළල් නැටුම් බලා සිටි අයටය.
CHOGM සැණකෙලියට කොළඹ නගරයේ සවිකළ රූං පෙති කැරකුනේ නැත. නොකැරකුන රූං පෙති කැරකැවීමට දැන් ජනතාව සිය මුළු වැර යොදා ඒවා යටට වී ‘බදු’ හුස්ම පිඹ පිඹ සිටිය යුතුය. සංදර්ශනකාරී, නාස්තිකාර පාලකයන්ගේ සරුව පිත්තල අයවැයක රඟ එසේය. තල වැපුරුවා නම් නෙලා ගත හැක්කේ තල මිස මුං නොවන බව රටේ ජනතාවත් වටහා ගතයුතුය.









