“එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය පසුගිය 01වැනිදා උදෑසන ලංකාවෙන් පිටව ගියේ අප විසින් පළමු ලිපියේ පෙන්වා දුන් කරුණු තවත් තහවුරු කරමිනි. එම ලිපිය අවසන් වූයේ මෙසේය.
ආණ්ඩුව මැතිවරණ වේදිකාවලදී කුමන්ත්‍රණ පිළිබඳව නිතර අඳෝනා නගයි. එහෙත් සැබැවින්ම හොර රහසේ කුමන්ත්‍රණය සමග ඉන්නේ ආණ්ඩුවමය. ඒ, අධිරාජ්‍යවාදයට, ආණ්ඩුවම මැසිවිලි නගන ‘කුමන්ත්රණකරුවන්ට’ රටට මැදිහත්වීමේ අවස්ථා නොඅඩුව සපයා දෙමිනි. මේ තත්වය තුළ පිල්ලෙලාට පිල්ලි ඇරීමට පාවාඩ එළන්නේ රාජපක්ෂ ආණ්ඩුවම බව නොදන්නේ අත දරුවෙකු පමණය.
නවනීදන් පිල්ලේ මහත්මිය සතියක සංචාරයක් අවසානයේ ආණ්ඩුවට බරපතළ ටොක්කක් ඇන රටින් බැහැර වූවාය. ඒ පසුගිය 31වැනි දින කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේදී පවත්වන ලද ජනමාධ්‍ය සාකච්ඡාවේදීය. එහිදී ඇය දැක්වූ කරුණු අතර ආණ්ඩුවට එරෙහිව චෝදනා ගණනාවක් විය. ‘යුද්ධයෙන් බැටකෑම හේතුවෙන් බිඳුණු සිත් යා කිරීමක් සිදුව නැත. භෞතික ඉදිකිරීම් තුළින් ප්රතිසන්ධානය හා සාමය උදාවන්නේ නැත. අනාගත අසහනයේ බීජ වැපිරෙමින් තිබේ. උතුරේ ඉඩම් අත්පත්කරගැනීම් පිළිබඳ ගැටලූ ඇත. උතුරේ හමුදාවේ මැදිහත්වීම් අවශ්‍ය ප්‍රමාණය ඉක්මවීමකි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවමත් ක්‍රියාත්මකවීම ගැටලූ සහගතය. අතුරුදහන් වූවන් පිළිබඳ සත්‍යය දැනගැනීමට ජනතාවට අවශ්‍ය වී තිබේ. අතුරුදහන් වූවන් පිළිබඳ කොමිසමේ විෂය පථයට උතුරින් බැහැර සුදු වෑන් අතුරුදහන් කරවීම් ඇතුළත් නොවීම ගැටලූවකි. වැලිවේරිය සිදුවීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් අවශ්‍යය. පොලීසිය වෙනම අමාත්‍යාංශයක් යටතට පත්වුවද එය ජනාධිපතිවරයා යටතේම පැවතීමෙන් වෙන්කිරීම අර්ථ ශුන්‍යය. ආගමික ස්ථානවලට පහරදීම් පිළිබඳව වගකිවයුත්තන්ට දඬුවම් කෙරී නැත.’
මේ චෝදනා ගතහොත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස්වරිය තකහනියේ ලංකාවට පැමිණ අමුතුවෙන් පෙන්වා දිය යුතුව තිබූ ඒවා නොවේ. ඇතැම් කරුණු ජනතා විමුක්ති පෙරමුණ විසින් 2009 යුද්ධය අවසන් වී සතියක කාලයකින් ආණ්ඩුවට පෙන්වා දෙන ලද දේය. තවත් ඒවා බොහොමයක් දිගින් දිගටම දේශපාලන පක්ෂ, ජනමාධ්‍ය හා විද්වතුන් විසින් ආණ්ඩුවට පෙන්වාදෙන ලද දේය. ඉදින් මේවා ආණ්ඩුව පිල්ලේ මහත්මියට ආරාධනා කොට, රටවටා යාමට පහසුකම් සලසා අසා ගත දේ නොවේ; මොළේ කළඳක් හෝ ඇත්නම් ආණ්ඩුවට තේරුම් ගන්නා ලෙස රටේ ජනතාව විසින් පෙන්වා දෙන ලද දේය. එබැවින් ආණ්ඩුව සිදුකරගෙන ඇත්තේ රටේ පුරවැසියන් කියනදේට සවන් නොදී තමන් අතින් සිදුවී ඇති වැරදි රාජ්‍යතාන්ත්‍රික කටකින් අසා ගැනීමය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් ධූරය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය දරන රටවල් 193 විසින්ම පිළිගනු ලබන තනතුරකි. ඉන්දියානු සම්භවයක් සහිත දකුණු අපි‍්‍රකානු ජාතිකයෙකු විසින් එය මේ මොහොතේ දරනු ලැබීමත් පොදුවේ මේ මොහොතේ ජාත්‍යන්තර සංවිධාන අධිරාජ්‍යවාදී බලපෑම්වලට ලක්ව තිබීමත් අවශේෂ කරුණුය. එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය දරන ශිෂ්ට සම්පන්න රටක් ලෙස අප ඇයට ගෞරව කළ යුතුව තිබුණි. ෆිදෙල් වරෙක මෙසේ කීය “ඔබ ප්‍රතිපත්තිගරුක විය යුතුයි. ඔබ සඳහා වගේම ඔබගේ සතුරා සඳහාත් ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. සතුරාට තදින් පහර දෙන්න. නමුත් අවමන් නොකරන්න” එහෙත් ආණ්ඩුව ඇයට ආරාධනා කර පැමිණීමෙන් පසු ලාභ ජනප්‍රියත්වය වෙනුවෙන් ඇයට අපහාස කළේය. මේ තත්වය කෙතරම් දුරගියේද යත් මර්වින් සිල්වා අමාත්‍යවරයා ඇයට ප්‍රසිද්ධියේ විවාහ යෝජනා පවා කළේය.
රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ආණ්ඩුවේ අමනෝඥභාවය කෙතරම්ද යන්න පෙන්වා දුන් තවත් ප්‍රධානතම කරුණක් වූයේ උතුරේ සංචාරය අතරතුර පිල්ලේ මහත්මිය හමුවූ සිවිල් වැසියන් හමුවීමට ආරක්ෂක අංශ සාමාජිකයින් යාමය. ආණ්ඩුවට ඒ පිළිබඳව කෙතරම් හදිස්සියක් පැවතියේද යත් අවම වශයෙන් මහ කොමසාරිස්වරිය දිවයිනෙන් බැහැරවන තෙක් වත් ඉවසිල්ලක් නොමැති විය. එහි ප්‍රතිඵලය වූයේ තවත් බරපතළ චෝදනාවකට අතවනා ගැනීමය. “මානව හිමිකම් ආරක්ෂකයින් ගණනාවක් හා ජනමාධ්‍යවේදීන් හා මා හමුවීමට සැලසුම් කළ හෝ මා හමුවූ පුරවැසියන් බොහෝ දෙනෙක් හිරිහැර කිරීම් සහ බියවැද්දීම්වලට ලක්වූහ. මුලතිව් ප්‍රදේශයට මා යාමට පෙර හා ඉන් පසුව පොලීසිය හෝ හමුදාව හෝ ඒ දෙකම එහි ගම් හා ජනාවාසවලට ගොස් ජනතාව හමුවූ බවට වාර්තා මට ලැබිණි. ත්‍රීකුණාමලයේදී මා හමුවූ පුද්ගලයින්ගෙන් සිදුවූ කතාබහ ගැන පසුව ප්‍රශ්න කර ඇත.” මානව හිමිකම් මහ කොමසාරිස්වරියකගෙන් මෙවැනි චරිත සහතිකයක් ලබාගැනීමට සෑම රටකටම පහසු නැත!
ජනාධිපතිවරයා වේදිකාවල තමන් ඒකාධිපතියෙකු නොවේ යැයි ජිනීවාවලට ඇහෙන්නට තරම් හයියෙන් කෑගැසුවද අරුත් සුන් වන්නේ මේ නිසාය. තමන් ජන්ද පවත්වන බැවින් ඒකාධිපතියෙකු නොවේ යැයි කීමට ඔහු උත්සාහ කරයි. එහෙත් ජාතිකවාදය තොරොම්බල් කරමින් ඡන්ද දිනූ හිට්ලර්ද ඇතුළු ලෝකයේ බොහෝ ඒකාධිපති පාලකයින් ගමන ඇරඹුවේ ඡන්දවලින්මය. ඔවුන් ඡන්ද දිනන්නේද ඒකාධිපති උපක්‍රම පාවිච්චි කරමිනි. ජනතාවට සාධාරණ හේතුවලට සටන් කිරීමට නොහැකි වෙමින් තිබියෙදී, මාධ්‍යවලට තමන්ගේ කැමැත්ත ලිවීමට නොහැකි වෙමින් තිබියෙදී, සිවිල් කි‍්‍රයාකාරකම්වලට හමුදාව මැදිහත් කරමින් තිබියෙදී, මැතිවරණ කටයුතු වෙනුවෙන් බුද්ධි අංශ මෙහෙයවමින් තිබියෙදී රටේ ඡන්ද පවත්වන්නේය යන්න නිදහසට කරුණක් නොවන්නේ එබැවිනි. එය පිල්ලෙලාට අත වනනවා පමණක් නොව රටේ ජනතාවටද හානිකරය. ඒ ප්රජාතන්ත්රවාදය සෝදාපාළුවීමේ ඍජු ප්රතිවිපාකය වශයෙන් මෙන්ම රට තුළ අධිරාජ්‍යවාදී මැදිහත්වීම්වලට ඉඩකඩක් නිර්මාණය කරවීම යන දෙඅංශයෙන්මය.
ආණ්ඩුවේ මේ බොරු අධිරාජ්‍ය විරෝධය රටේ ජනතාව රැවටීම සඳහාය; බලය වෙනුවෙන් ඡන්දය කොල්ලකෑම සඳහාය. අනෙක් අතට පිල්ලෙලාද එයම තහවුරු වන පරිදි ආණ්ඩුව පතුරු ගසයි. බැලූබැල්මට අධිරාජ්‍යවාදී බලවේග හා රාජපක්ෂ ආණ්ඩුව අනෝන්‍ය අවබෝධයෙන් කටයුතු කරන්නේ යැයි හැඟෙන තරමට ආණ්ඩුව අමන ලෙස හැසිරෙයි. විදේශ බලවේගවල මැදිහත්වීම්හි කණගාටුදායක අත්දැකීම් ලොව පුරා අසන්නට දකින්නට ලැබෙන මොහොතක අධිරාජ්‍යවාදී මැදිහත්වීම්වලට සැබෑ ලෙසම විරුද්ධ වන කිසිදු අයෙකුට මෙවැනි දෙබිඩි ආණ්ඩුවකට සහය දිය නොහැකිය. බලය වෙනුවෙන් ඕනෑම නරා වළකට බැසීමට සූදානම් රාජපක්ෂ ආණ්ඩුව රැකීමෙන් අධිරාජ්‍යවාදී බලපෑම් පරාජය කළ නොහැකිය. ඒ සඳහා සැබෑ මානවවාදී ජනතාවාදී ආණ්ඩුවක් රට තුළ ස්ථාපිත කළ යුතුය. අනාගත අනතුර වන මානව හිමිකම් ආරක්ෂා කිරීමේ මුවාවෙන් සිදුවන විදේශ මැදිහත්වීම් පරාජය කළ හැක්කේ එලෙස පමණකි.”









